“Born Again කතාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි” – SLC

2965

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය Born Again නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත්, එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටින බව අද (30) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා.

ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම් කමිටු නිලධාරීන්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ යම් යම් අංශවල සේවයේ නියුතු නිලධාරීන්ව ඉලක්ක කර ගනිමින් මෙම චෝදනා එල්ල වන නමුත්, එය ස්ථීර ලෙසම ප්‍රතික්ෂේප කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, එය කිසියම් පාර්ශ්වයක් විසින් ගොතන ලද අසත්‍ය තොරතුරක් බවත්, එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැඩිදුරටත් සඳහන් සඳහන් කර සිටිනවා.

ක්‍රිකට් ක්‍රීඩාව යනු සෑම ශ්‍රී ලාංකිකයෙකු තුළම නොමියෙන ප්‍රේමයක් දෝර ගලන ක්‍රීඩාවක් බවට සහ ජාතීන්ගේ ආශාවක් සඵල වන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව තිබෙන නිසා විවිධ ජාතීන්ගෙන් පිරී තිබෙන රටක් වන ශ්‍රී ලංකාවේ ජාතීන් සියල්ල එකතු කිරීමට ක්‍රිකට් ක්‍රීඩාවට හැකි බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල තේමා පාඨය “එකම කණ්ඩායමක් එකම ජාතියක් (One Team One Nation) පවා සකස් වී ඇත්තේ එයට ගරු කිරීමක් ලෙස බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ සඳහන් තවත් කරුණු කිහිපයක් පහත දැක්වෙනවා.

“1996 වසරේ දී ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නා විටත්, 2014 දී විස්සයි-විස්ස ලෝක කුසලානය දිනා ගන්නා විටත්, අවස්ථා ගණනාවක ලෝක අනුශූරයින් ලෙස පත් වන විටත් පස් වතාවක් ආසියානු කුසලාන ජයග්‍රහණය කරන විටත් මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ගේ ආදරය සහ සෙනෙහස හදවතින්ම විඳ ඇත්තෙමු. එම ආදරය සහ සෙනෙහස අතරින් සෑම තරාතිරමක්ම නියෝජනය වන පරිදි වූ ක්‍රීඩකයින්ට කිසිදු වෙනස් කමක් සිදු නොකරමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව නිර්මාණය කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉඩ හසර විවර කර දුන් අතර එහි දී ඇතැමුන් ජාත්‍යන්තරයේ ශ්‍රේෂ්ඨයින් බවට පත්ව ඇති බව මේ රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.

කිසිදු වෙනස්කමකින් තොරව සෑම දෙනාටම එක සේ විඳිය හැකි වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගෙන යෑම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සකස් කොට ඇති වෙනස්කම් කොට සැලකීමේ විරෝධී ප්‍රතිපත්තියට අනුකූලව නිරන්තයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලබන බව සඳහන් කිරීමට ද මෙය අවස්ථාවක් කරගන්නා අතරම,  ජාතිය, වර්ණය, ආගම, සම්භවය, සංස්කෘතිය, ජනවාර්ගික සම්භවය, ජාතිකත්වය, ස්ත්‍රී-පුරුෂ භාවය, ලිංගික දිශානතිය, ආබාධිත භාවය, විවාහක අවිවාහක තත්ත්වය මෙන්ම මාතෘත්වය පිළිබඳව ද කිසිදු වෙනස්කමක් නොකිරීමට අප වගා බලා ගන්නා බව සඳහන් කර සිටින්නේ ඉතාමත් වගකීමෙනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම පුද්ගලයකුටම තමන් කැමති ආගමක් ඇදහීම සඳහා ලබා දී ඇති නිදහසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශය ගෞරවය කර සිටින අතරම ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු කටයුත්තක් සඳහා කිසිදු පුද්ගලයකුගේ ආගමක් හෝ ඔහු හෝ ඇය විශ්වාස කරන දේ කිසි විටෙකින්වත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලකිල්ලට නොගනු ලබන බව මේ අවස්ථාවේ දී සඳහන් කර සිටීමට කැමැත්තෙමු.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු කිසිදු ආගමික කණ්ඩායමක න්‍යාය පත්‍රයකට අනුව කටයුතු නොවන ආයතනයක් බව මේ අවස්ථාවේ දී යළිත් මතක් කර සිටින අතරම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ආදරණීය රසිකයන් මෙන්ම ජනතාවට නැවතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වටා එක් රොක් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය – අපි සාදරයෙන් ඉල්ලා සිටිමු.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<