ගුවන් හමුදාව අභිබවා යුධ හමුදාව අවසන් 04ට

527
Army SC's Mohamed Issadeen (M) in action against Air Force SC - FA Cup 2016 Quarter Final

කාගිල්ස් එෆ්. ඒ කුසලාන තරගාවලියේ 3වන අර්ධ අවසන් පූර්ව තරඟය පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණික තත්වය නිසා එම තරඟය අද (24) දිනය දක්වා කල් දැමු අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

ඒ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමට එදිරිව යුධ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම අතරය. තරගය ගෝල 2-2ක් ලෙස සමව අවසන් වු නමුත් 4-3 ලෙස දඩුවම් පහර වටය ජය ගනිමින් යුධ හමුදා කණ්ඩායම අවසන් 04 දෙනාගේ තරගයට අසුන් වෙන් කරගැනීමට සමත් විය.

අවසන් 08 දෙනාගේ තරග සාරාංශය සඳහා පිවිසෙන්න

මෙම තරඟය මුල සිටම තියුණු මුහුණුවරක් ගත් අතර යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ඉසඩීන් 21වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත් අතර පළමු අර්ධය නිමා වූයේ 01  – 00 ක් ලෙස යුධ හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවෙමිනි.

අනතුරුව තරගයේ දෙවන අර්ධයේ දී යලි ක්‍රියාත්මක වූ යුධ හමුදා ක්‍රීඩක මොහොමඩ් ඉසඩීන් 62වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරන ලදි. 68වන මිනිත්තු දක්වා තරගය නරඹන්නන්ට යුධ හමුදා කණ්ඩායම ජයග්‍රහණය කර අවසන් බව දැනුනද, එයට යන්තමින් හෝ නිමාවක් දෙමින් 69 වන මිනිත්තුවේදී ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ශාන් ප්‍රනාන්දු ගෝලයක් ලබා ගන්නා ලදි. අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ක්‍රීඩක කවිදු ඉෂාන් 74වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගැනීමත් සමඟම තරගය ඉතා උණුසුම්කාරී විය. අනතුරුව තරගයේ නියමිත මිනිත්තු 90 අවසානයේ දෙපිලම ගෝල 02 – 02 ක් ලෙස සමව සිටි නිසා තරගයේ තීරණය ලබා දීම උදෙසා දඩුවම් පහර සඳහා අවස්ථාව ක්‍රියාත්මක කරවිය.

දඩුවම් පහර වලදී යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් මදුෂාන් ද සිල්වා, අසිකු රහුමාන්, රොෂාන් අප්පුහාමි, සංඛ ධනුෂ්ක යන ක්‍රීඩකයින් තම දඩුවම් පහරවල් සාර්ථක කරගත් අතර යුධ හමුදා ක්‍රීඩක සජිත් කුමාරගේ සහ ගෝල දෙකක් ගත් මොහොමඩ් ඉසඩීන් ගේ දඩුවම් පහරද අසාර්ථක වූ අතර යුධ හමුදා කණ්ඩායම දඩුවම් පහර 4 ක් සාර්ථක කර ගැනීමට සමත් විය.

තරගයේ ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් අයි.ටී. හපුආරච්චි, චතුරංග ප්‍රනාන්දු, නිපුණ බණ්ඩාර යන ක්‍රීඩකයින් තම දඩුවම් පහරවල් සාර්ථක කර ගත් නමුදු කවිදු ඉෂාන්, කුමාර ලංකේශ්වර හා තාරක දමිත්ගේ දඩුවම් පහරවල් අසාර්ථක වීම නිසා තරඟය නිමා වූයේ දඩුවම් පහර 04-03 ක් ලෙස යුධ හමුදා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කරමිනි.

ඒ අනුව ලබන 28 වනදා කොළඹ ක්‍රීඩා කණ්ඩායම හා යුධ හමුදා කණ්ඩායම අතර එක් අර්ධ අවසන් තරගයක් පැවැත්වීමට නියමිතව ඇත.

එෆ් .ඒ කුසලාන පාපන්දු තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය හෙට (25) සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම හා බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර කොළඹ තුරඟ තරඟ පිටියේදි පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රීඩා පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න