ක්‍රිකට් ගොඩගන්න සුපිරි යෝජනා 7ක්

1383

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි දියුණුව සහ එය නගාසිටුවීමට සම්බන්ධ යෝජනාවලියක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ඊයේ (29) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළා.

පසුගිය 27 වැනිදා ජාතික ක්‍රීඩා කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Mickey Arthur සමඟ රැස්වීමක් පැවති අතර එම හමුවේ දී ඊට අදාළව කරුණු සාකච්ඡා කොට මේ තීරණ 7 ලබාගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ක්‍රියාකාරීත්වය, ක්‍රීඩකයින්ගේ කළමනාකරණ කටයුතු සහ විධිමත්ව කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී ක්‍රීඩකයින්ගේ දක්ෂතා විශ්ලේෂණය කිරීම සහ එහි පවතින යාන්ත්‍රනය පිළිබඳව ඉතාමත් හොඳින් සමාලෝචනය කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

එහි දී පහත සඳහන නව යෝජනා 7ක් ඉදිරිපත්ව ඇති බව සඳහන්

  1. දැනට පවතින තේරිම් කමිටුව පිළිබඳ සලකා බැලීමත්, නව තේරිම් කමිටුවක් පත් කිරීමත්.
  2. දැනට පවතින ප්‍රථම පංතියේ ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් සලකා බලා එහි ව්‍යුහය අවම වශයෙන් කණ්ඩායම් 8ක් හා උපරිම කණ්ඩායම් 14ක් ලෙස Tier – 1 කොටසට එක්කිරීම, Tier – 1 ප්‍රථම පංතිය යටතටත්, Tier – 2 ප්‍රථම පංති සඳහා යටත් නොකිරීමටත් සලකා බැලීම.
  3. නව සුපිරි පළාත් තරගාවලියක් සංවිධාන කිරීම. ඒ සඳහා කණ්ඩායම් 5ක් එයට එක්කිරීම මෙන්ම කණ්ඩායම් සඳහා ප්‍රිමියර් Tier – 1/2 ක්‍රීඩා සමාජ හා අනෙක් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් නියෝජනය වන ලෙස කණ්ඩායම් සකස් කිරීම.
  4. ජාතික කණ්ඩායමට පත් කළ යුතු ඉහළ හැකියාවන් සහ සුදුසුකම්ලත් නිලධාරීන් හඳුනා ගැනීම – (කණ්ඩායම් උපදේශක, ක්‍රිකට් අධ්‍යක්ෂ, පූර්ණ කාලීන කළමනාකරු පත් කිරීම)
  5. ක්‍රීඩකයින්ගේ හා පුහුණුකරුවන්ගේ ගිවිසුම් සැලසුම් කිරීමේ දී දිරිගැන්වීමේ පටිපාටිය ගැන සලකා බැලීම. මෙහි දී ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා හා අඛණ්ඩව විනය පවත්වා ගැනීම පිළිබඳ වැඩි අවධානය යොමු කෙරේ
  6. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවන් මගින් ක්‍රීඩකයින්ගේ හා සහයකයින්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ දී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ විනය ගැන වඩාත් සැලකිලිමත් වීම.
  7. තවදුරටත් ජාතික හා අන්තර්ජාතික ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීමේ දී ඒ සඳහා නිර්දේශිත ක්‍රිකට් කමිටුවක් නම් කිරීම. “ක්‍රියාකාරී හා සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් සමන්විත කමිටුවක්”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වුනා. එහි දී ක්‍රීඩා නිලධාරීන්, බලධාරීන් සහ ජාතික කණ්ඩායමේ පුහුණුකරු Mickey Arthur අතර බොහෝ සාධනීය අදහස් හුවමාරුවක් සිදු වූ බව ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුනා.

තවද අසන්ත ද මෙල් මහතා පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුරෙන් සහ කණ්ඩායම් කළමනාකරු තනතුරින් ඉල්ලා අස්වූ අතර තේරීම් කමිටු සභාපති ධුරය වෙනුවෙන් 1996 ලෝක කුසලාන ශූර කණ්ඩායමේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තේරීම සඳහා වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වේ. තවද කණ්ඩායම් කළමනාකරු තනතුර සඳහා දැනට තාවකාලිකව ජෙරොම් ජයරත්න මහතා පත් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<