11 වතාවක් පන්දුවෙන් බැට කාලත් තරගේ අත්නොහැරි ඉන්දියානුවා!

191
Indian Express

ඉන්දියාවට සිටින හොඳම ටෙස්ට් පිතිකරුවෙකු වන Cheteshwar Pujara ඕස්ට්‍රේලියාවේ දී දැක්වූ දක්ෂතා කාගේත් කතා බහට ලක් වුනා. බෝඩර් – ගවස්කාර් කුසලානය ඉන්දියාවට ගෙන ඒම සඳහා ඕස්ට්‍රේලියා – ඉන්දියා සිව්වැනි ටෙස්ට් තරගයේ දී ඔහු වාර්තා කළ ලකුණු 56 කාගේත් අවධානය දිනා ගත්තා. 

ඒ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් පිට පිටම ඔහුගේ ශරීරය ඉලක්ක කර පන්දු යොමු කරද්දීත් පන්දුවෙන් 11 වතාවක් සමඟ පහර කා වුනත් සිය කඩුල්ල රැකගෙන තරගය ජය ගන්නට අනගි ඉනිමක් ක්‍රීඩා කළ නිසයි.

Times Of India වෙබ් අඩවිය ඔහු සමඟ සුහද පිළිසඳරක නිරත වී තිබුණු අතර බ්‍රිස්බේන් ටෙස්ට් තරගය ගැන ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා.

බ්‍රිස්බේන් හි ටෙස්ට් තරගය ගැන ඔබට මොකද හිතෙන්නේ? තණතිල්ල හා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ගැන හිතන කොට ඒ ඔබේ හොඳම ටෙස්ට් ඉනිම ද?

“එක හරිම අමාරු ඉනිමක් වුනා. මේ තරම් ගොඩක් වතාවක් පන්දුව ඇඟේ වැදුණු ඉනිමක් නම් මට මතක නැහැ. නමුත් මම බොහොම අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කළේ මගේ කඩුල්ල නම් දෙන්නේ නැහැ කියලා. කණ්ඩායමක් විදියට අපිට සැලසුමක් තිබුණා. මම පෞද්ගලිකව දිවා ආහාරය වෙනකම් කඩුල්ලේ රැඳී සිටිනවාමයි කියලා හිතාගෙන සිටියා. 

මම දැනන් හිටියා අපි හොඳින් පටන් ගත්තොත් අපිට තරගය දිනන්න හෝ සම කරන්න හොඳ අවස්ථාවක් තිබෙනවා කියලා. දිනය අවසානයේ කඩුලු ගන්න පීඩනය තියෙන්නේ ඔවුන්ට. වැදගත්ම දේ වුනේ ඇඟේ පන්දුව වදින එක ගැන නොසිතා ඉන්න එක. මොකද ඒ අන්තයෙන් පන්දුවේ ඉපිලීම ගැන හිතාගන්න අමාරුයි.”

“මගේ ඇඟේ පන්දුව වැදුණේ ඒ අන්තයෙන් පන්දුවට මුහුණ දෙනකොට පමණයි. සමහර වෙලාවට මට පන්දුවට පිත්ත දාන්න හිතුණේ නැහැ. මොකද පසු පාදයේ ක්‍රීඩා කරලා පන්දුව ඉපිලී ඇවිල්ලා අත් ආවරණයේ වැදුනොත් මා දැවී යන්න ඉඩ තිබුණු නිසා. මගේ සැලැස්ම බොහොම සරලයි. පන්දුව ඉපිලී ආවොත් පන්දුව ඇඟේ වැදුණට කමක් නැහැ. මොකද එහෙම වුනා කියලා මම දැවී යන්නේ නැහැ. දිවා ආහාර විවේකයට යනකොට මට හොඳ විශ්වාසයක් තිබුණා අපි හොඳින් ක්‍රීඩා කළා කියලා. අනතුරුව මම ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කරන්නට පටන් ගත්තා.”

“දුර්වල පන්දුවක් වැටුනොත් මම පහර දුන්නා. දිවා ආහාරය හා තේ විවේකය අතර කාලසීමාවේ මට දුර්වල පන්දු කිහිපයක්ම වැටුණා. මම සාමාන්‍ය විදියට ලකුණු රැස් කළා. ඒ අඩිතාලම නිසා අපිට තරගය දිනන පුළුවන් වුනා.”

තවත් ක්‍රිකට් පුවත්:

ඔබට කොච්චර කාලයක් වේදනාව තිබුණ ද? ඉනිම අතරතුර දී පන්දුවට පහර දෙන එක නවත්තලා යන්න හිතුනේ නැද්ද?

“නැහැ. පන්දුවට පහර දෙන එක නවත්තලා යන එක (retiring hurt) විසඳුමක් නෙවේ. මම මටම කියාගත්තා මම නැවත ක්‍රීඩාගාරයට යන්නේ නැහැ කියලා. මට ගොඩක්ම වේදනාවක් දැනුණේ පන්දුව මගේ ඇඟිල්ලේ වැදුණු වෙලාවේ. මොකද මෙල්බර්න් ටෙස්ට් තරගයට පසුව තිබුණු පුහුණු සැසියකදීත් ඒ ඇඟිල්ලේම පන්දුව වැදුණා. මම සිඩ්නි තරගයත් ටිකක් වේදනාවෙන් ක්‍රීඩා කළේ. පසුව බ්‍රිස්බේන් හිදීත් ඒ ඇඟිල්ලේම පන්දුව වැදුනම මම හිතුවේ ඇඟිල්ල කැඩුණා කියලා. අපේ භෞත චිකිත්සකවරයා ඇවිල්ලා කිව්වා ඇඟිල්ල කැඩුනත් නැතත් ඔයා හොඳට වේදනාව දරාගෙන ක්‍රීඩා කරනවා මම ඕනේ නම් ඔබට වේදනා නාශකයක් දෙන්නම් කියලා. මම වේදනා නාශකයක් එපා කියලා වේදනාව දරාගෙන ක්‍රීඩා කරන්න උත්සහ කළා.”

“මට පිත්ත හරි හැටි අල්ල ගන්න බැරි වුනා. ඒ නිසා මට මගේ රිද්මයට ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මම මටම කියාගත්තා මේ තරගාවලියේ වැදගත්ම දවස කියලා, දිවා ආහාරයයි, තේ විවේකයයි අතර කාලසීමාව තමා අමාරුම වුනේ. කොහොම වුනත් පිටියෙන් ඉවත් වෙන්න මගේ අදහසක් තිබුණේ නැහැ.”

ඔබ දැන් සම්පූර්ණ සුවය ලබා ද ඉන්නේ? තවමත් ඔබේ ඇඟේ පන්දුව වැදුණු සලකුණු තිබෙනවා ද?

“බොහෝ දුරට දැන් මම යථා තත්වයට පත් වෙලා ඉන්නේ. තවම පන්දුව වැදුණු සලකුණු තිබෙනවා. ලේ සලකුණු තවම තිබෙනවා. නමුත් දරුණු ආබාධ නැහැ.”

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඔබව වාචිකව මානසිකව වට්ටන්න (sledge) උත්සහ කළා ද? 

“ඔව්. නමුත් මම ඒවා ගණන් ගත්තේ නැහැ. මොකද මම කරන්න ඕනේ දේ ගැන අවධානය යොමු කරලා තිබුණේ. මම මගේ සැලැස්ම දැනන් හිටියා. මම කඩුල්ලට ගියාම කරන දේ ගැන දැනන් හිටියා. ඔවුන් කියපු දේ වලින් මට බාධාවක් වුනේ නැහැ.”

Times of India ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<