ඕමි ගහපු සිදුවීම ගැන සුරංග ලක්මාල් කතා කරයි

2789

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පසුගිය දා නිමා වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. ගාල්ලේ පැවති එම තරගාවලියේ පළමු තරගය අතරතුර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හට තරගය අතරතුර කාඩ් ක්‍රීඩාවක (ඕමි ක්‍රීඩාව) නිරත වූවා යැයි, ඔහු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි ලෙස විවේචන රැසක් එල්ල වුනා.

මේ සිදුවීම ගැන ලක්මාල් එක්තරා සංවාදයකට එකතු වෙමින් එම සිදුවීම ගැන මෙසේ පවසා තිබුණා.

“ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ කතාව ප්‍රචාරණය වුනේ කාගේ උවමනාවට ද කියලා මම දන්නවා. දකුණු අප්‍රිකානු තරග සංචාරය අතරතුර මම ආබාධයකට ලක්වෙලා හිටියේ. ඒ වගේම එංගලන්තය එක්ක තිබ්බ පළමු ටෙස්ට් තරගයේ මම පළමු 17 දෙනා ඇතුලෙවත් හිටියේ නැහැ. මොකද මම ආබාධයකට ලක්වෙලා විවේකීව ඉඳලා තමයි නැවතත් පුහුණුවීම් ආරම්භ කළේ. ඒ වෙද්දී මම පුහුණුවීම් කටයුතු සිදු කළේ දෙවන ටෙස්ට් තරගයට සම්බන්ධ වෙන්න බලාගෙනයි.”

තවත් ක්‍රිකට් පුවත්:

“මම පුහුණුවීම් අවසන් කරලා වෙහෙස නිවා ගන්න ඕමි ක්‍රීඩා කළා. නමුත් තරගය අතරතුර නෙමෙයි. අනෙක් එක කණ්ඩායමේ ක්‍රීඩා විවේකාගාරයට ඕමි පැක් නැත්නම් ක්‍රීඩා කාඩ් රැගෙන යන්නත් බැහැ. ඒක තමයි ඇත්ත කතාව. වෙන කෙනෙක්ගේ උවමනාවට මට මඩ වැදුණා. ඒ දර්ශනවල මම ඕමි ගහනවා කියලා පෙන්නේ නැහැ. මේක කළේ කවුද කියලත් මම දන්නවා” යැයි සුරංග ලක්මාල් එහි දී පවසා සිටියා.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා පුද්ගලික හේතුවක් නිසාවෙන් එම තනතුරු දෙකෙන්ම ඉවත් වී තිබේ.

එසේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ කණ්ඩායමට අනුයුක්ත කර ඇති වෛද්‍යවරියක සම්බන්ධයෙන් පැතිර යන වාර්තාවල සඳහන් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් සොයා බලා, වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (පසුගිය 21 වැනිදා) කණ්ඩායමේ කළමනාකරු වන අසන්ත ද මෙල් මහතාට උපදෙස් ලබා දී තිබේ.

newswire වෙබ් අඩවිය ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<