ශ්‍රී ලංකාවට 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබන්න පුළුවන් ද?

ICC Cricket World Cup 2023

11002
ICC Cricket World Cup 2023

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් දහය අතුරින් කණ්ඩායම් තුනක් දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් තුනක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරග වදිමින් සිටිනවා.

මේ අතරේ ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් හතර දැනටමත් ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ඇතත් තවමත් ඔවුන් 2025 ශූරයින්ගේ කුසලානය* වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා සටනක නිරත වෙමින් සිටීම විශේෂත්වයක්. 

*. 2025 ශූරයින්ගේ කුසලානයට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිත අතර මේ වන විටත් 2023 ලෝක කුසලාන ලකුණු සටහනේ මුල් ස්ථාන හයේ රැඳෙන කණ්ඩායම් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්. 

ඉතිරි කණ්ඩායම් හතරට ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථා මෙසේයි; 

නෙදර්ලන්තය 

  • තරග 7; ලකුණු 4; NRR -1.398 
  • ඉතිරි තරග: එංගලන්තය සහ ඉන්දියාව සමඟ 

නෙදර්ලන්තය සහ එංගලන්තය අතර තරග මේ වන විට පූනේ හිදි පැවැත්වෙනවා. නෙදර්ලන්තයට මෙම තරගය සහ ඉන්දියාව සමඟ තරගය ජයග්‍රහණය කළ හැකි නම් ඔවුන්ට කිසිඳු ගැටලුවකින් තොරව එම තරගාවලියට සුදුසුකම් ලබා ගත හැකි. කෙසේ වෙතත් ඔවුන් මෙම තරග දෙකෙන් එකක් පමණක් ජයග්‍රහණය කළ හොත් ඔවුන්ට ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ඉතිරි තරග දෙස බලා හිඳීමට සිදු වනවා. එමෙන්ම ඔවුන් මෙම තරඟ දෙකම පරාජය වුවත් ඔවුන්ට යම් අවස්ථාවක් ඇතත් ඒ සඳහා ද බලපෑම් එල්ල කරන්නේ ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ඉතිරි තරග ප්‍රතිඵලයි. කෙසේ වෙතත් මේ වන විට ඔවුන් පවත්වා ගෙන යන දුර්වල දළ ලකුණු වේගය ඔවුන්ගේ අවාසියට හේතුවක් විය හැකි. 

එංගලන්තය 

  • තරග 7; ලකුණු 2; NRR -1.504 
  • ඉතිරි තරග: නෙදර්ලන්තය සහ පාකිස්තානය සමඟ 

එංගලන්තයට ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන්ගේ මීළඟ තරග ද්විත්වය ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වනවා. එම තරග දෙක ම ඔවුන් ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තම ඉතිරි තරග ජයග්‍රහණය කරයි නම් එංගලන්තයට දළ ලකුණු වේගයේ සහය පැතීමට සිදු වනවා. නමුත් මෙවර තරගාවලියේ දුර්වලම දළ ලකුණු වේගය සතු වන්නේ වත්මන් ලෝක ශූරයින්ටයි. 

එමෙන්ම එංගලන්තය එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළත් ශූරයින්ගේ කුසලානය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි වුවත් (ගණිතමය වශයෙන්) එය යථාර්ථයක් වීමට ඇති ඉඩ ඉතා සීමිතයි. 

ශ්‍රී ලංකාව  

  • තරග 8; ලකුණු 4; NRR -1.160 
  • ඉතිරි තරග: නවසීලන්තය සමඟ 

ශ්‍රී ලංකාවට ඉදිරි නවසීලන්තය සමඟ තරගය ජයග්‍රහණය කළ හැකි නම් ශූරයින්ගේ කුසලානය පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකියි. නමුත් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 6, අනෙක් කණ්ඩායම් තුනට ද ලබා ගැනීමට හැකියාව පවතින නිසා ඒ පිළිබඳ ව නිශ්චිත යමක් තවමත් පැවසිය නොහැකියි. කෙසේ වෙතත් ලංකාව සතු දළ ලකුණු වේගය නිසා ඔවුන්ට සාපේක්ෂව වැඩි අවස්ථාවක් ඉතිරිව තිබෙනවා. 

එමෙන්ම නවසීලන්තය සමඟ තරගය පරාජය වුව ද ශ්‍රී ලංකාවට ඉදිරි තරගාවලිය පිළිබඳ ව බලාපොරොත්තු තබා ගත හැකි නමුත් ඒ සියල්ල අනෙක් කණ්ඩායම් තුනේ තරග ප්‍රතිඵල මත තීරණය වනු ඇති. 

බංග්ලාදේශය  

  • තරග 8; ලකුණු 4; NRR -1.142 
  • ඉතිරි තරග: ඕස්ට්‍රේලියාව සමඟ 

මෙම කණ්ඩායම් හතර අතුරින් සාපේක්ෂව හොඳම දළ ලකුණු වේගය ඇති බංග්ලාදේශයේ ශූරයින්ගේ කුසලාන බලාපොරොත්තුව ද ශ්‍රී ලංකාවේ තත්වයට සර්ව සමයි. 

මේ අතර නවසීලන්තය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තවමත් අවසන් පූර්ව වටයේ එක් ස්ථානයක් සඳහා සටන් වදිමින් සිටිනවා. ඊයේ (07) ඕස්ට්‍රේලියාව විසින් ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලද විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් ඔවුන් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තා. මෙය ඇෆ්ගනිස්තාන පාර්ශවයෙන් විශාල බලාපොරොත්තු සුන් වීමක් ලෙස සැලකිය හැකියි. කෙසේ වෙතත් මෙම කණ්ඩායම් තුනට තම ඉතිරි තරගය ජයග්‍රහණය කළ හැකි වුව හොත් දළ ලකුණු වේගය මත කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇති. 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<