මිනිත්තු අටයි, ගෝල තුනයි; ස්පාඤ්ඤය ඉතිහාසය අලුතින් ලියයි

FIFA Women's World Cup 2023

3878
FIFA Women's World Cup 2023
Image Courtesy - Andrew Cornaga/AP

ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම කාන්තා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයක් වෙත සුදුසුකම් ලබා ගැනීමට ඊයේ දිනයේ (15) සමත් වුනා. 

ඊයේ ස්වීඩනය සමඟ පැවැත්වුණු අවසන් පූර්ව වටයේ තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වූ අතර, එය ඔවුන් ලෝක කුසලානයක මෙතෙක් දක්වා ඇති ඉහළතම දක්ෂතාව ලෙසයි සටහන් වන්නේ. 

1997 වසරේ දී යුරෝපීය ශූරතා අවසන් පූර්ව වටයට පිවිසීමෙන් අනතුරුව 2023 වසර වන තෙක් ප්‍රධාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට හෝ පිවිසීමට ස්පාඤ්ඤ කාන්තා කණ්ඩායම සමත් ව තිබුණේ නැහැ. 

ඒ අනුව මෙය ස්පාඤ්ඤ පාර්ශවයෙන් ගත් කළ ඉතිහාසගත මොහොතක් බව සඳහන් කළ හැකි. 

එමෙන්ම මීට වසරකට පමණ පෙර ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම තුළ ඇති වූ අර්බුදකාරී වාතාවරණයක් නිසා මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඔවුන්ගේ හොඳම ක්‍රීඩිකාවන් සියල්ල ම සහභාගී කර ගැනීමට හැකියාව ලැබේවි ද යන්න පිළිබඳ පවා සැකයක් ඉතිරි වී තිබුණා. 

Las 15 නමින් හැඳින්වුණු මෙම ගැටලුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ඇති වූ අතර එමගින් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු මගින් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය වෙත සිය පුහුණුකරු Jorge Vildaගේ යම් ක්‍රියාමාර්ග සහ තීරණ පිළිබඳ චෝදනා කරමින් තමන්ව එළඹෙන ලෝක කුසලානය සඳහා තෝරා ගැනීම් වෙනුවෙන් නොසලකා හරින ලෙස දන්වා තිබුණා. 

නමුත් පාපන්දු සම්මේලනය විසින් Vilda වෙනුවෙන් දිගින් දිගටම සහය දැක්වූ අතර, පසුව Vildaගේ ප්‍රධානත්වයෙන් යුතුව තේරූ ස්පාඤ්ඤ ලෝක කුසලාන සංචිතයට එම කැරලිකාර ක්‍රීඩිකාවන් 15 දෙනා අතුරින් තිදෙනෙකු ඇතුළත් කිරීම ද  විශේෂත්වයක්. 

නමුත් එතැන් පටන් ඔවුන් සියල්ලෝ ම සියලු ගැටලු පසෙක තබා කණ්ඩායමක් ලෙස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩා කිරීම ආරම්භ කළා. 

මෙවර තරගාවලියේ පළමු තරග ද්විත්වය කොස්ටාරිකා සහ සැම්බියාවට එරෙහිව ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤය සමත් වුනත් ඔවුන්ගේ ඊළඟ තරගය ජපානය ඉදිරියේ දරුණු ලෙස පරාජය වුනා. 

නමුත් එතැනින් පසු පිළිමළුන් පිටුදැකීමේ තරග වට වල දී ස්විට්සර්ලන්තය (5-1) සහ නෙදර්ලන්තය (2-1) පරාජය කරමින් ඉතිහාසගත ලෙස අවසන් පූර්ව වටයට පිවිසීමට ඔවුන් සමත් වුනා. 

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් හි හයවැනි ස්ථානයේ පසු වන ස්පාඤ්ඤයට ඊයේ අවසන් පූර්ව වටයේ දී ශ්‍රේණිගත කිරීම් හි තෙවැනි ස්ථානයේ පසු වන ස්වීඩනය මුණ ගැසුණා. 

ස්පාඤ්ඤයට සාපේක්ෂව අතිශය විශිෂ්ට ලෝක කුසලාන ඉතිහාසයක් ඇති ස්වීඩනය 2003 ලෝක කුසලාන අනුශූරතාව මෙන්ම තවත් අවස්ථා තුනක දී ම තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබුණා. 

ඊයේ තරගය ආරම්භ වූ මොහොතේ පටන් ඉතාමත් තියුණු ලෙස තරගය ඇදී ගිය නමුත් තරගයේ 80 වැනි මිනිත්තුව වන විටත් එකඳු ගෝලයක් හෝ වාර්තා කර ගැනීමට කණ්ඩායම දෙක ම සමත් වී තිබුණේ නැහැ. 

කෙසේ වෙතත් 81 වැනි මිනිත්තුවේ දී Salma Paralluelo විසින් පළමු ගෝලය ස්පාඤ්ඤය වෙනුවෙන් වාර්තා කිරීමට සමත් වුනා. නමුත් ස්පාඤ්ඤයට එම ගෝලයේ සතුට වැඩි වේලාවක් විඳීමට ඉඩ ලබා නොදුන් ස්වීඩනයේ Rebecka Blomqvist තරගය 1-1ක් ලෙස සම මට්ටමට ගෙන ඒමට සමත් වුනේ තරගයේ 88 වැනි මිනිත්තුවේ දීයි. 

නමුත් තරගයේ අවසන් මොහොතේ දී අවදානම් තත්වයකින් බේරීමට හැකි වීමේ සහනය ස්වීඩනයට විඳීමට හැකියාව ලැබුණේ එක් මිනිත්තුවක් පමණයි. 

89 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤයේ Olga Carmona විසින් ඉතිහාසගත ගෝලයක් වාර්තා කරමින් තරගයේ ලකුණු තත්වය ගෝල 2-1 බවට පත් කිරීමට සමත් වීමත් සමඟ නැවතත් ස්පාඤ්ඤයට සැනසුම් සුසුම් හෙළීමට අවස්ථාව ලැබුණා. 

මිනිත්තු අටක් තුළ ගෝල තුනක් වාර්තා වීමෙන් පසුව නැවතත් එම තරගයේ ගෝල වාර්තා නොවූ අතර, ඒ අනුව ස්පාඤ්ඤ කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

“ස්පාඤ්ඤයට ඔවුන්ගේ ඉතිහාසයේ සිටි හොඳම කණ්ඩායමක් ඉන්නවා.” 

ප්‍රසිද්ධ පාපන්දු මාධ්‍යවේදියනියක වන Laia Cervello Herrero විසින් මෙම කණ්ඩායම හඳුන්වා දෙන්නේ ඒ ආකරයෙනුයි. 

La Roja යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ස්පාඤ්ඤය කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු මෙම ජයග්‍රහණය ලැබූ ඊයේ දිනය ඉතිහාසගත එකක් බව සඳහන් කරනවා. 

“මෙය ඓතිහාසික දවසක්. අපි අවසන් තරගයට පැමිණියා. එය තමයි අපිට අවශ්‍ය වුනේ.” 

එමෙන්ම ඔහු සහ කණ්ඩායම් ක්‍රීඩිකාවන් විසින් එළඹෙන ඉරිදා (20) දිනයේ දී සිය අවසන් සටන වෙනුවෙන් සිය උපරිමය ලබා දීමට සූදානමින් පසු වන බව ඊයේ තරගයේ පළමු ගෝලය ලබා ගත් Paralluelo විසින් සඳහන් කර තිබුණා. 

“අපි මෙය ලැබීමට සුදුසුයි. අපි මේ කුඩා පියවර තැබුවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ අවසාන තල්ලුවයි.” 

අද (16) දිනයේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට මෙවර පාපන්දු ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම එළඹෙන ඉරිදා ස්පාඤ්ඤයේ ප්‍රතිවාදීන් බවට පත් වීමට නියමිතයි. 

එම අවසන් පූර්ව තරගයේ මෙන්ම අවසන් මහා තරගයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<