හැමදේම වෙනස් විදිහට වෙන කාන්තා පාපන්දු ලෝක කුසලානය

FIFA Women's World Cup 2023

451

පිරිමි පාපන්දු ලෝක කුසලානය ආරම්භ වෙන්නේ 1930 වර්ෂයේ දී, නමුත් කාන්තාවන්ට පාපන්දු ලෝක කුසලානයක් සඳහා ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබාගන්න 1991 වර්ෂය වන තෙක් බලා ගෙන ඉන්න සිදු වුනා. 

1991 වර්ෂයේ දී ආරම්භ වුන පාපන්දු ලෝක කුසලානය මේ වෙද්දී අවස්ථා 8ක දී පවත්වලා තියෙනවා. ඒ වගේ ම මේ තරගාවලියේ 9 වැනි අදියර පසුගිය බ්‍රහස්පතින්දා (20) නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුනා. 

පිරිමි පාපන්දු ලෝක කුසලානය කියන්නේ සමස්ත ලෝකයේ ම වැඩිම අවධානයක් දිනා ගන්න සමත් වෙන ක්‍රීඩා ඉසව්වක්. ඒ වගේම පිරිමි පාපන්දු ලෝක කුසලානය සමඟ අපේ මතකයට එන පාපන්දු පුරාවෘත්ත, රටවල්, දක්ෂතා සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා.  

තවමත් අවස්ථා 8ක දී පමණක් පැවැත්විලා තිබුනත්, පිරිමි ලෝක කුසලානය තරම් දීර්ඝ අතීතයක් නොතිබුනත්, කාන්තා පාපන්දු ලෝක කුසලානය ගැනත් කතා කරන්න තරම් ගැඹුරු ඉතිහාසයක් නැතුවාම නෙවෙයි. 

නොනිල පාපන්දු ලෝක කුසලානය! 

නිල කාන්තා පාපන්දු ලෝක කුසලානය ආරම්භ වුනේ 1991 දී වුනාට ඊට වසර 21කට පෙර, 1970 වසරේ දී නොනිල වශයෙන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙනවා. 

පිරිමි පාපන්දු ලෝක කුසලානයක් 1930 දශකයේ ම ආරම්භ කළාට කාන්තා පාපන්දු ලෝක කුසලානයක් වෙනුවෙන් පෙරමුණ ගන්න කිසිම කෙනෙකුට අවශ්‍ය වුනේ නැහැ.  

මේ නිසා කාන්තා පාපන්දු ලෝක කුසලානයක් ආරම්භ වීම සෑහෙන්න වසර ගණනකට කල් ගියා. නමුත් ඉතාලි ව්‍යාපාරිකයින් පිරිසක් විසින් තීරණය කරනවා 1970 දී කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් (නොනිල) ආරම්භ කරන්න. 

කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ ශූරතාව දිනා ගන්න ඩෙන්මාර්කය සමත් වෙද්දී අනුශූරතාව සත්කාරක ඉතාලිය සතු වුනා. 

1971 දී නැවතත් මේ තරගාවලිය පැවැත්වුණේ ඩෙන්මාර්කයට ශූරතාව දිනා දෙමින්. 

ඉන්පසුව Mundialito නමින් 1981 සිට 1988 වෙන තෙක් ආරාධිත කාන්තා පාපන්දු තරගාවලියක් පැවැත්වෙනවා. 

මේ තරගාවලිවල දී දකින්න ලැබෙන ධනාත්මක ස්වභාවය නිසා FIFA විසින් කාන්තා ලෝක කුසලානයක් වෙනුවෙන් උත්සාහ කරලා බැලිය යුතු බව තේරුම් ගනිමින් 1988 වර්ෂයේ දී ඒ වෙනුවෙන් පළමු උරගා බැලීම සිදු කරන්නේ 1988 FIFA කාන්තා ආරාධිත පාපන්දු තරගාවලිය පවත්වමින්. 

නෝර්වේ විසින් ජයග්‍රහණය කළ මේ තරගාවලියෙන් පසුව නිල වශයෙන් කාන්තා පාපන්දු ලෝක කුසලානය ආරම්භ කරන්න FIFA විසින් තීරණය කරනවා. 

මේ අනුව තමයි 1991 වසරේ දී පළමු කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය චීනයේ දී ආරම්භ වෙන්නේ.

මෙවර පැවැත්වෙන 2023 පාපන්දු ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 32ක් සහභාගී වෙනවා. මේක කාන්තා පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක්. මොකද මේ තමයි කාන්තා පාපන්දු ලෝක කුසලානයක් වෙනුවෙන් වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී වෙන අවස්ථාව වෙන්නේ. මීට පෙර පැවැත්වුණු තරගාවලියේ දී කණ්ඩායම් 24ක් විතරයි තරගාවලියට සහභාගී වෙන්නේ. 

මේ තරගාවලිය ආරම්භ වුනු 1991 දී සහභාගී වුනේ කණ්ඩායම් 12ක් විතරයි. 

ආරම්භක තරගාවලියේ ශූරතාව දිනා ගන්න ඇමරිකා එක්සත් ජනපදය විසින් සමත් වෙනවා. ඒ වගේම ඔවුන් තමයි මේ වෙද්දී පැවැත්වුණු තරගාවලි අටෙන් 4කම ජයග්‍රහණය හිමි කර ගන්න සමත් වෙලා තියෙන්නේ. 

ඇමරිකාවට අමතරව ජර්මනිය විසින් අවස්ථා දෙකක දී මෙම ශූරතාව ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. ඊට අමතර නෝර්වේ සහ ජපානයට විසින් එක් වතාවක් බැගින් මේ ශූරතාව තමන්ගේ කර ගන්න සමත් වෙලා තියෙනවා. 

පිරිමි ලෝක කුසලාන ඉතිහාසයේ රජ කරපු රටවල් අතුරින් ජර්මනිය හැරෙන්න වෙන කිසිම රටක නමක් ඔබට ඉහත දී කියවන්න ලැබුණේ නැහැ නේද? 

කාන්තා පාපන්දු ලෝක කුසලානය තරමක් විශේෂ වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. පිරිමි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වතාවක් කිරුළු දරන්න සමත් වුන බ්‍රසීලය, කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ දක්වපු හොඳම දක්ෂතාව තමයි 2007 ලෝක කුසලානයේ අනුශූරතාව ජයග්‍රහණය කිරීම. 

ඉතාලිය, ප්‍රංශය, පෘතුගාලය, ආජන්ටිනාව, බෙල්ජියම වගේ අපිට අහලා පුරුදු, පිරිමි පාපන්දු ක්‍රීඩාවේ ආධිපත්‍යය දරන රටවල් කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ සැලකිය යුතු තරම් දක්ෂතා පෙන්වලා නැහැ! 

ලෝක කුසලාන සහභාගීත්වය  

මෙවර පැවැත්වෙන 9 වැනි කාන්තා ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වීමත් සමඟ නොකඩවා ලෝක කුසලාන තරගාවලි 9 සඳහා ම සහභාගී වෙන්න සමත් වෙලා තියෙන්නේ රටවල් 7ක් විතරයි.

මෙතෙක් ලෝක ශූරියන් බවට පත් වෙන්න සමත් වුන ඇමරිකාව, ජපානය, ජර්මනිය සහ නෝර්වේ රටවල් වලට අමතරව බ්‍රසීලය, ස්වීඩනය සහ නයිජීරියාව කියන රටවල් හත පමණයි මේ තරගාවලි 9 වෙනුවෙන් ම තමන්ගේ සහභාගීත්වය ලබා දෙන්නේ. 

ඒ වගේම මේ වර්ෂයේ දී කණ්ඩායම් 32ක් සමඟින් ආරම්භ වෙන මෙවර තරගාවලිය නිසාම ඉතිහාසයේ ප්‍රථම වරට රටවල් 8කට ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වෙන්න අවස්ථාව  හිමි වුනා. 

ඒ තමයි පිලිපීනය, මොරොක්කෝව, පැනමාව, පෘතුගාලය, අයර්ලන්තය, වියට්නාමය සහ සැම්බියාව කියන රටවල්. 

ලෝක කුසලාන වාර්තා  

පාපන්දු ලෝක කුසලාන වාර්තා ගැන කතා කරද්දී නම් බ්‍රසීලය තරමක් කැපී පෙනෙන්න සමත් වෙනවා. නමුත් කවුරු කොහොම කැපී පෙනුනත් ඇමරිකාව තමයි මේ හැම තැනක ම ආධිපත්‍යය දරන්න සමත් වෙලා ඉන්නේ. 

  • වැඩිම තරග – 50 
  • වැඩිම ජයග්‍රහණ – 40 (ඇමරිකාව) 
  • වැඩිම පරාජයන් – 19 (නයිජීරියාව) 
  • වැඩිම ගෝල – 138 (ඇමරිකාව) 
  • වැඩිම තරග (ක්‍රීඩිකාවක් විසින්) – 30 (Kristine Lilly – ඇමරිකාව) 
  • තනි ක්‍රීඩිකාවක් සතු වැඩිම ගෝල – 17 (Marta – බ්‍රසීලය) 
  • එක් තරගාවලියක වැඩිම ගෝල – 10 (Michelle Akers – ඇමරිකාව) 
  • තරගයක වැඩිම ගෝල – 5 (Michelle Akers සහ Alex Morgan – ඇමරිකාව) 
  • තරගාවලියක වැඩිම ගෝල (කණ්ඩායමක්) – 26 (ඇමරිකාව 2019 දී) 

මේ අතරේ බ්‍රසීලය නියෝජනය කළ Formiga විසින් 1995 ලෝක කුසලානයේ සිට 2019 ලෝක කුසලානය තෙක් වසර 24ක් තුළ පාපන්දු ලෝක කුසලාන තරගාවලි 7කට සහභාගී වෙන්න සමත් වීම විශේෂත්වයක්. ඒ වගේම ඇය තමයි පාපන්දු ලෝක කුසලාන තරගයක් ක්‍රීඩා කළ වැඩිමහලු ම ක්‍රීඩිකාව (2019 දී වයස අවුරුදු 41) ලෙසත් වාර්තා අතරට එකතු වුනේ.

ඒ වගේම මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහාත් බ්‍රසීලය නියෝජනය කරමින් තරග බිමට පිවිසෙන්න නියමිත මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභි ක්‍රීඩිකාව වන Marta මෙවර සහභාගී වෙන්නේ තමන්ගේ හය වැනි ලෝක කුසලාන තරගාවලියට වීමත් විශේෂත්වයක්. 

කාන්තා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පැවැත්වුණු තරගාවලි 8 තුළ දී අනුශූරතාව දිනා ගන්නේ එකිනෙකට වෙනස් රටවල් අටක් විසින් වීම විශේෂත්වයක්. ඒ වගේම ඇමරිකාව විසින් අවසන් ලෝක කුසලාන තරගාවලි ද්විත්වය ම ජයග්‍රහණය කරමින් නොකඩවා දෙවරක් ලෝක ශූරතාව තමන්ගේ කර ගැනීමට පෙර ඒ විදිහේ දක්ෂතාවක් දක්වලා තිබුණේ ජර්මනිය විසින් පමණයි. 

2003 සහ 2007 ලෝක ශූරයින් බවට පත් වෙන්න ජර්මනිය සමත් වුනා විතරක් ම නෙවෙයි, මේ කාල සීමාව ඇතුළත (2003-2011) ඔවුන් විසින් ප්‍රතිවාදීන්ට එකඳු ගෝලයක් හෝ ලබා නොදී එක දිගට මිනිත්තු 671ක් ක්‍රීඩා කරන්න සමත් වීමත් විශේෂත්වයක්. ඒ වගේම 2007 ලෝක කුසලාන තරගාවලියේ දී තමන් ක්‍රීඩා කළ තරග 6 දීම ප්‍රතිවාදීන්ට එකඳු ගෝලයක් හෝ ලබා නොදී ශූරතාව දිනා ගන්න ජර්මනිය සමත් වීම තවත් විශේෂ සිදුවීමක්. 

2023 තරගාවලිය 

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කර ගනිමින් පසුගිය 20 වැනිදා ආරම්භ වුන තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ සත්කාරක නවසීලන්තය සහ නෝර්වේ කණ්ඩායම් අතර, ඒ තරගයෙන් මේ වෙද්දී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේ රැඳිලා ඉන්න නෝර්වේ පරාජය කරන්න සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වෙන්නේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කර ගනිමින්.

ඒ වගේම තරගාවලියේ දෙවැනි තරගයෙන් අනෙක් සත්කාරක දේශය වුන ඕස්ට්‍රේලියාව විසින් අයර්ලන්තය පරාජය කරන්න සමත් වුනා. 

මේ තරගාවලි ඉතිහාසය පුරාවට ම සත්කාරක කණ්ඩායමක් විසින් ශූරතාව දිනා ගත්තේ 1999 වර්ෂයේ දී විතරයි. 99 දී ඇමරිකා එක්සත් ජනපදය ඒ විදිහට ශූරතාව දිනා ගත්තායින් පසුව නැවත වරක් ඒ ඉතිහාසය අලුතින් ලියන්න නවසීලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට අවස්ථාවක් නැතිවාම නොවෙයි. 

බලාපොරොත්තු සහගත ක්‍රීඩිකාවන් 

මෙවර තරගාවලියේ දී දක්ෂතා අතරට පිවිසේ වී කියලා බලාපොරොත්තු වෙන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම ඉන්නවා. 

  • Marta – බ්‍රසීලය  
  • Sam Kerr – ඕස්ට්‍රේලියාව  
  • Keira Walsh – එංගලන්තය  
  • Alexia Putellas – ස්පාඤ්ඤය  
  • Ada Hegerberg – නෝර්වේ 
  • Asisat Oshoala – නයිජීරියාව 
  • Alex Morgan – ඇමෙරිකාව  
  • Lena Oberdorf – ජර්මනිය  

මීට අමතරවත් තවත් ක්‍රීඩිකාවන් රැසක් මේ බලාපොරොත්තු සහගත ලැයිස්තුවේ ඉන්න බව සඳහන් කළ යුතුමයි. 

ඒ වගේම තවමත් තරගාවලිය ආරම්භ වුනා විතරයි, ඉදිරිය මොන වගේ වේවි ද කියන දේ ගැන තවම පුරෝකථන කරන්න අමාරුයි. 

ඉතිහාසයේ ප්‍රථම වතාවට නොකඩවා තෙවරක් කාන්තා පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න සමත් වුන ලොව එකම රට බවට පත් වෙන්න ඇමරිකාව සමත් වේවි ද, එහෙම නැතිනම් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ නොවූ විරූ වෙනස් කමක් සමඟින් යම් කිසි පෙරළියක් සිදු වෙවිද කියලා අපිට ඉදිරි මාසයක කාලයේ දැක බලා ගන්න ලැබේ වී. 

පිරිමි පාපන්දු ලෝක කුසලානයට තරම් විසල් අවධානයක් නොලැබුණත්, කාන්තා පාපන්දු ලෝක කුසලානය කියන්නෙත් ඔබ මග හැර නොගත යුතු අන්දමේ ක්‍රීඩා සැණකෙළියක්! 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<