අනපේක්ෂිත පරාජයෙන් පසුව Neymar බ්‍රසීල පාපන්දුවට සමුදේවි ද?

FIFA World Cup 2022

7501
​Is neymar going to retire from brazil football

බ්‍රසීල පාපන්දු තරුව Neymarට පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය සමග තියෙන්නේ වේදනාකාරී මතකයන් විතරමයි.

2010 දකුණු අප්‍රිකාවේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කාලය වන විට Neymar බ්‍රසීලයේ ප්‍රසිද්ධ පාපන්දු තරුවක් වුනත් ඔහු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වුනේ නැහැ.

2014 පාපන්දු ලෝක කුසලානයේ දී ඔහුගේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා තරගාවලිය අතර මැදින් ඔහුට නතර වීමට සිදු වූ අතර, බ්‍රසීලයට ඔහු නැතිව ජර්මනිය ඉදිරියේ අවමන් සහගත ගෝල 7-1ක පරාජයකට මුහුණ දීමට වුනා.

2018 ලෝක කුසලානයේ දී ද ඔහු සියයට සියයක් හොඳ ශාරීරික යෝග්‍යත්වයකින් පසු නොවූ අතර (තරගාවලියට පෙර ඇති වූ වළලු කර ආබාධයක් නිසා) එවර තරගාවලියේ ද බ්‍රසීල ගමන බෙල්ජියම හමුවේ අවසන් වුනා.

ඊයේ (09) බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර තරගයේ අමතර කාලයේ දී Neymar බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් ලබා ගනිමින් ( Pele ගේ බ්‍රසීලය වෙනුවෙන් ලබා ඇති වැඩිම ගෝල ප්‍රමාණය ද සම කරමින්) තරගයේ ජයග්‍රහණය තම රට දෙසට හැරවීමට සමත් වූ නමුත්, පසුව ක්‍රොඒෂියාව ද ගෝලයක් ලබා ගනිමින් තරගය සම මට්ටමට ගෙන ආවා.

අවසානයේ දඬුවම් පහර වලින් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට පියවර ගත් අතර දෛවයේ සරදමකට මෙන් Neymar ට තමන්ට නියමිත දඬුවම් පහර හෝ ලබා ගත නො හැකි වුනා.

තරග පරාජයෙන් අනතුරුව බ්‍රසීල පාපන්දු පුහුණුකරු Tite තම ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ අතර, Titeට පෙර මාධ්‍ය ඉදිරියට පැමිණි Neymar ද තමන් නැවත බ්‍රසීලයට ක්‍රීඩා කරාවි ද යන්න පිළිබඳ සැක සහිත ඉඟි පළ කරා.

මෙය ලෝක කුසලාන අවසන් මහ තරග පරාජයක් සහ පිට පිට Copa America අවසන් මහා තරග පරාජයන් දෙකකින් පසුව තම ජාත්‍යන්තර දිවියට සමු දීමට Lionel Messi ගත් තීරණයට සමාන අවස්ථාවක් වන අතර, කනගාටුවට කරුණ වන්නේ Neymar එවැනි තීරණයක් ගත හොත් ඔහුට නැවත පැමිණීමක් නැති වීමයි.

දශකයකට අධික කාලයක් තිස්සේ Neymarගේ දක්ෂතාව පිළිබඳ ඔහුගේ රටේ ක්‍රීඩාලෝලීන්ම කේවල් කරමින් සිටි අතර, ලෝක කුසලාන ජයග්‍රහණයකින් තොරව ඔහු බ්‍රසීල ප්‍රේක්ෂකයින් අතින් ම ප්‍රතික්ෂේප වීම Neymarට දරා ගත නො හැකි දෙයක් වනු ඇත.

” දන් ගොඩක් දේවල් හිතන්න ඉතුරු වෙලා තියෙනවා, මේ වගේ ඔළුව ගිනියම් වුණු වෙලාවක මට කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ. මට මොකක්ද හොඳ, මගේ ජාතික කණ්ඩායමට මොකක්ද හොඳ කියලා හිතන්න මම කාලය ලබා ගන්න ඕන. මට දොරවල් වහලා දාන්න ඕන නැහැ, ඒ වගේම මම ආයේ ඒවි කියලා 100%ක්ම තහවුරු කරන්නත් බැහැ.”

මාධ්‍ය ඉදිරියට පැමිණි Neymar සිය අනාගතය පිළිබඳ අපැහැදිලි ප්‍රකාශයක් සිදු කළා.

එමෙන්ම තරගයෙන් අනතුරුව twitter සටහනක් ද තැබූ Neymar එහි දී මෙසේ සඳහන් කර තිබුණා.

“මට කිසිවක් සහතික කරන්න බැහැ, මම තවමත් ඉවත් වීම ගැන අවුලෙනුයි ඉන්නේ. මට තවමත් එක එල්ලේ ඒ ගැන හිතන්න බැහැ.

මේ අවසානයයි කියලා කියන්න මම ඉක්මන් වෙන්නේ නැහැ, නමුත් මම කිසිම දෙයක් සහතික කරන්නෙත් නැහැ.”

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Marca වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<