Neymar ප්‍රංශය අත්හැර අරාබියට?

411

බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක Neymar සිය වත්මන් පාපන්දු ක්‍රීඩා සමාජය වන PSG අත් හැර සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Al Hilal සමඟ එක්වීමට නියමිත බව ESPN වෙබ් අඩවිය මගින් වාර්තා කරනවා.

2017 වසරේ දී ලොව ඉහළ ම වටිනාකමක් ලද පාපන්දු ක්‍රීඩකයා ලෙස Barcelona ක්‍රීඩා සමාජය අත්හරිමින් ප්‍රංශයේ Paris Saint-Germain සමඟ එක් වූ Neymar PSG සමඟ ගෙවූ වසර හයකට ආසන්න කාලය නිමා කරමින් දැන් සෞදි අරාබියට පිවිසීමට සූදානම් වන බවට විවිධ දූසමාන ආරංචි මීට පෙර ද පැතිර ගිය අතර මෙවර නම් එය නිල වශයෙන් ම සිදු වීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය මගින් තහවුරු කරන්නේ.

බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර පාපන්දු ගෝල ගණනක් රැස් කළ ක්‍රීඩකයා (Pele සමඟ සම වාර්තාව) ලෙස සිය නම සටහන් කර ගැනීමට සමත් වී සිටින Neymarගේ ක්‍රීඩා දිවිය බොහෝ අවස්ථාවල අවාසනාවන්ත ආබාධ සහ වෙනත් පෞද්ගලික ගැටලු හරහා යම් කැලඹීම් වලට ද ලක් වුනා.

Saudi Pro League තරගාවලි ඉතිහාසයේ වඩාත් සාර්ථක ම කණ්ඩායම (ශූරතා 18) ලෙස සැලකෙන Al Hilal විසින් Neymar වෙනුවෙන් (වසර දෙකක කොන්ත්‍රාත්තු කාලයක් සඳහා) ඩොලර් මිලියන 98.6ක වටිනාකමක් ගෙවීමට එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට Al Hilal සමඟ එක් වී සිටින kalidou koulibaly, Ruben Neves, Sergej Milinković-savić වැනි ක්‍රීඩකයින් ඉදිරියේ දී Neymarගේ නව කණ්ඩායම් සගයන් ලෙස ක්‍රීඩා කරනු ඇති බව බලාපොරොත්තු විය හැකියි.

දිනෙන් දින උණුසුම් වන ලෝක පාපන්දු ක්‍රීඩාවේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<