මෙසී ඉඳලත් PSGට වැරදුණා ද?

1287
Courtesy – PSG talk

ශූරයන්ගේ කුසලාන තරගාවලියක් ජය ගැනීමට එක දිගට වසර 11ක් හීන මැවූ Paris Saint-Germain (පැරිස් සෙන්ට් ජර්මේන් – PSG) කණ්ඩායම යළි අසාර්ථක වුනා. ඔවුන් නොකළේ මොනවා ද?

මාර්තු 8 වැනිදා රාත්‍රියේ දී පැවති තරගයෙන් Bayern Munich (බයර්න් මියුනික්) කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ජය ගැනීමත් සමඟ ඔවුන් 3-0ක ගෝල එකතුවකින් PSG කණ්ඩායම පරාජය කරමින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉදිරියට ගියා. ඒ පිළිමළුන් පිටුදැකීමේ පළමු වටයේ දී යි. පසුගිය වසර 11 දී ම සිදු වූ පරිදි පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුනා.

ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වශයෙන් ප්‍රසිද්ධියට පත් Lionel Messi (ලියොනල් මෙසී) සහ ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමිවූ පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු වන Neymar Jr. (නේමාර් ජූනියර්), Kylian Mbappe (කිලියන් ම්බාපේ) සමඟින් ක්‍රීඩා කළ PSG කණ්ඩායම අසාර්ථක වීමට හේතු කවරේ දැයි බොහෝ පාපන්දු ප්‍රේක්ෂකයන් අතර කතාබහක් පවතිනවා.

නේමාර් ආබාධයකට ලක්වී සිටියත් පෙර කී ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනා ද ඇතුළුව මිනිත්තු 180ක් පුරාවට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වන්නේ ඇයි?

ලියොනල් මෙසී (Courtesy – beinsports.com)

පැරිස් සෙන්ට් ජර්මේන් ව්‍යාපෘතිය හැදිලා තිබුණේ ශූරයන්ගේ කුසලාන දිනන්න. ඒත් ඒගොල්ලෝ ඊට හැතැප්ම ගානක් ඈතින් හිටියා. අන්තිමට පෙනුණේ ඒක ෆේල් එකක් කියලා,” හිටපු චෙල්සී පාපන්දු ක්‍රීඩක Joe Cole (ජෝ කෝල්) BT Sport හමුවේ එසේ පැවසුවා.

හිටපු මැන්චෙස්ටර් යුනයිටඩ්  ක්‍රීඩක Owen Hargreaves (ඔවන් හාග්‍රීව්ස්) පැවසුවේ,

ඒගොල්ලන්ට අති දක්ෂ ඒක පුද්ගල ක්‍රීඩකයන් ගොඩක් හිටියා. ඒක ටීම් එකක් නෙමෙයි. අපරාදේ. ඒගොල්ලෝ අති විශිෂ්ට ක්‍රීඩකයන් ගොඩක් එකට දාගෙන පස්සට තමයි ගියේ,” යනුවෙන්.

PSG කළමනාකරු Christophe Galtier (ක්‍රිස්ටෝෆ් ගැල්ටියර්) පැවසුවේ,

ඒක ලොකු පසුතැවිල්ලක්. අපි ඒකට මුහුණ දීලා ඒක පිළිගන්න ඕන,” යනුවෙන්.

මම දන්නේ නෑ ඒක ඉගෙනගත යුතු පාඩමක් ද කියලා. ඒත් ගොඩක් ලොකු කලකිරීමක්. අපි මුලින් ගෝල් එකක් ගැහුවා නම් ඒක වෙනස් වෙන්න තිබුණා. ඒත් අපි එහෙම කරේ නෑ,” යනුවෙන් ද ඔහු පැවසුවා.

දේශීය ක්‍රීඩකයන් මදි ද?

2012 දී කටාර් ජාතිකයන් විසින් මිල දී ගැනීමෙන් පසු PSG කණ්ඩායම ලොව සුපිරි ක්‍රීඩකයන් මිලට ගැනීම වෙනුවෙන් පවුම් බිලියනයකට වඩා වියදම් කොට තිබෙනවා. පසුව පැවති Ligue 1 තරගාවලි 10න් 8කම ශූරයන් වූයේ ද PSG කණ්ඩායමයි. එහෙත් අයිතිකරුවන්ගේ පරම අදිටන වුනේ ශූරයන්ගේ කුසලාන තරගාවලියක් ජය ගැනීමයි.

2012 සිට පළමු සිව් වසරේ දී ඔවුන් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර ඉන්පසු පස් වතාවක් අවසන් 16 දෙනාගේ වටයේ දී තරගාවලියෙන් ඉවත් වුනා. එහෙත් වේදනාත්මකම පරාජය වුනේ 2020 අවසන් මහා තරගයේ දී බයර්න් මියුනික් හමුවේ ඔවුන් ලද පරාජයයි.

මේ කාල පරතරය පුරාවට ඔවුන්ට ලොව ප්‍රබලතම ප්‍රහාරකයන්ගේ දායකත්වය ලැබුනා. එහෙත් කණ්ඩායමේ සමබරතාවය නිසි මට්ටමේ තිබුණේ දැයි යන්න ගැටලුවක්.

ඔවුන්ට අනන්‍යතාවයේ මදිකමක් තියෙනවා. එයාලා කවුද? ඔක්කොම අපිළිවෙළයි. එතන සැලසුමක් තියෙනවා කියලා පේන්නේ නෑ. ඒගොල්ලෝ පළුදු වෙච්ච ටීම් එකක්. අන්තිම අවුරුදු හතරේ දී ඒගොල්ලෝ හොඳ තැන්වල ඉඳන් පහළට වැටිලා තියෙනවා. ඒක ඔවුන්ගේ ක්‍රීඩා සමාජයට කැළලක් එක්කරලා තියෙනවා,” කෝල් පැවසුවා.

ජෝ කෝල් (Courtesy – Football365)

ඒගොල්ලෝ පහුගිය අවුරුදු 20 හිටපු හොඳම ක්‍රීඩකයන්ව මිලට අරන් තියෙනවා. විසිරිලා ඉන්න යොවුන් ප්‍රංශ ක්‍රීඩකයන්ට පුළුවන් එයාලගේ මිලෙන් කාලකටත් අඩු ගානකට ප්‍රේක්ෂකයන් එක්ක අනන්‍යතාවයකුත් හදාගෙන එයාලා කරන වැඩේ කරන්න,” ඔහු පැවසුවා.

2014 දී නිදහස් හුවමාරුවක් හරහා PSG හැර ගිය Kingsly Coman (කිංස්ලි කෝමන්) 2020 අවසන් මහා තරගයේ දී සහ බදාදා පැවති පළමු වටයේ දී PSGට එරෙහිව ගෝල වාර්තා කළා. PSG හැර ගිය තවත් ක්‍රීඩකයෙකු වන Eric Maxim Choupo-Moting (එරික් මැක්සිම් චොපෝ-මෝටිං) බයර්න් වෙනුවෙන් අඟහරුවාදා පැවති තරගයේ දී ගෝලය වාර්තා කිරීම විශේෂත්වයක්.

ඔවන් හාග්‍රීව්ස් වැඩිදුරටත් පැවසුවේ,

“PSG මුළු ව්‍යාපෘතියම ඉරලා දාලා මුල ඉඳන් පටන් ගන්න ඕන. ඔවුන්ට පැරිස් වල ඉන්නවා ලෝකේ හොඳම යොවුන් සංචිතය,” යනුවෙන්.

ඇයි ඔවුන් සැල්ස්බර්ග්, ඩෝට්මුන්ඩ් හෝ ලෙස්ටර් වලට යන්නේ? ඔවුන් හැමෝම පැරිස් වලට සෙල්ලම් කරන්න ඕන.”

ඒ ක්‍රීඩකයන් එක්ක ඔවුන්ට Ligue 1 දිනන්න පුළුවන්. ඉන්පස්සේ පුළුවන් සුපිරි තරුවක් දෙකක් ඊට උඩින් දාන්න,” ඔහු පැවසුවා.

මෙසී, ම්බාපේ, නේමාර්ගෙන් ඇති වැඩේ?

කිලියන් ම්බාපේ, PSG විසින් කළ හොඳම ඇතුළත් කරගැනීමයි. 2017 දී පවුම් මිලියන 165කට මිලට ගනු ලැබූ ම්බාපේ තරග 248ක දී ගෝල 201ක් වාර්තා කරමින් PSG ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වුනා. 2018 ලෝක ශූර පාපන්දු ක්‍රීඩකයෙකු වූ ඔහු ඔහුගේ ප්‍රගමනය වෙනුවෙන් PSG හැර යෑමට ද ඉඩ තිබෙනවා.

ම්බාපේගේ කොන්ත්‍රාත්තුවේ තවත් වසරක් ඉතිරිව තිබෙනවා. ඔහුට එළියට යන්නට අවශ්‍ය වුනත් ඔවුන් ඒකට ඉඩ දෙන එකක් නෑ. ඒ නිසා ඔහු ඉඳීවි,” යැයි ප්‍රංශ ක්‍රීඩා මාධ්‍යවේදී ජුලියන් ලොරේන් පවසා තිබුණා.

ඔහු ශූරයන්ගේ කුසලානයක් දිනාගෙන නෑ. ඒත් ඔහුට අවුරුදු 24යි, ඒ නිසා ඒක ඔහුගේ උමතුවක් නෙමෙයි. PSG වෙනුවෙන් එය දිනන පළමුවැන්නා වුනොත් ඔහු කිව්වා ඒක ඔහුට අති විශේෂයි කියලා,” ලොරේන් එසේ පැවසුවා.

මේ වසරේ කොන්ත්‍රාත්තුවක් රහිතව සිටින්නේ ලියොනල් මෙසී යි. 2022 ලෝක කුසලාන ජය ගැනීමට ආජන්ටිනාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළත්, PSG කණ්ඩායමට ඔහුගෙන් ඒ සේවය ලැබුණා ද යන්න ගැටලුවක්. ඔහු PSG තුළ රැඳීමට කැමැත්තෙන් පසු වුවත් මෙතෙක් නව කොන්ත්‍රාත්තුවක් අත්සන් කොට නැහැ.

තරග 64ක දී ඔහු ගෝල 29ක් වාර්තා කරගෙන තිබෙනවා. ඒත් ඔවුන්ව ශූරයන්ගේ කුසලාන ජයග්‍රහණයක් වෙත ගෙන යන්නට ඔහුට හැකි වුනේ නැහැ.

මෙසීගේ කොන්ත්‍රාත්තුව ගැන ඔවුන් තවමත් ක්ලබ් එක ඇතුළේ කතා වෙනවා. අද නම් ඔහු හොඳ මදි,” ලොරේන් පැවසුවා.

ජුලියන් ලොරේන් (Courtesy – Football365)

දක්ෂකම ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් මේ වයසේ දී කවුන්ටර් ඇටෑක් එකේ දී Leon Goretzka (ලියොන් ගොහෙට්ස්කා – බයර්න් මැදපෙළ ක්‍රීඩක) යාර පහක් පිටිපස්සෙන් ඇවිල්ලත් එයාව අල්ලගන්නවා. මම හිතන්නේ නෑ තවදුරටත් මේ මට්ටමට ඔහුව සුදුසුයි කියලා,” ලොරේන් එසේ විවේචනය කළේ ලියොනල් මෙසීවයි.

නේමාර් Jr, 2017දී බාසිලෝනා කණ්ඩායම හැරදා PSG වෙත පැමිණියේ වාර්තාගත පවුම් මිලියන 200ක මුදලකටයි. PSG සමඟ ඔහුගේ විවාහය ආබාධ වලින් පිරී තිබුණා. මේ වසරේ තරග වාරයත් ඔහුට අහිමි වුනේ ඔහුට දණහිසේ ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව හඳුනා ගැනීමෙන් පසුවයි.

ඔවුන් ගිය අවුරුද්දේ ඔහුව විකුණන්න උත්සාහ කළා. ඔවුන් මේ අවුරුද්දෙදිත් උත්සාහ කරාවි,” ලොරේන් පැවසුවා.

හිටපු ලිවර්පූල් ක්‍රීඩක  Steve McManaman (ස්ටීව් මැක්මැනමන්) BT Sport තුළින් පැවසුවේ,

“PSG ඊළඟ අවුරුද්දේ මීට වඩා හොඳ වෙන්නේ නෑ,” යනුවෙන්.

ලියොනල් මෙසී අවුරුද්දකින් වයස යනවා. Sergio Ramos (සර්ජියෝ රාමෝස්) වුනත් එහෙමයි. නේමාර්ට බෑ තරග වාරයක අන්තිම වෙනකම් ෆිට් වෙන්න, Marquinhos (මාකීන්යෝස්) කරගෙන යනවා, ලොකු නම් තියෙන ක්‍රීඩකයන් වෙන තැනකට යන්න ඕන,” ඔහු පැවසුවා.

කළමනාකාරිත්වය වෙනස් වෙන්න ඕන ද?

2012 සිට වෙනස් වූ සයවැනි කළමනාකාරවරයා ගැල්ටියෙර්. එහෙත් ඔහුටත් ශූරයන්ගේ කුසලාන සිහිනය සැබෑ කිරීමට නොහැකිව තිබෙනවා.

පෙර කළමනාකාරිත්වයෙන් ඉවත් කළ Carlo Ancelotti (කාලෝ ඇන්කෙලෝටි) සහ Thomas Tuchel (තෝමස් ටුහෙල්) යන දෙදෙනාම ඉවත්  ශූරයන්ගේ කුසලාන දිනා ගත්තා. ඒ පිළිවෙළින් රියාල් මැඩ්රිඩ් සහ චෙල්සී වෙනුවෙන්.

ගැල්ටියෙර්ට පෙර PSG කළමනාකාරිත්වය දැරුවේ Mauricio Pochettino (මොරිසියෝ පොචෙටීනෝ).

ඊළඟ දවස් කිහිපය තීරණාත්මකයි. මං හිතන්නේ තරගවාරය ඉවරවෙනකම් ගැල්ටියෙර් ඉඳියි. ලීග් එකත් ඔවුන් දිනයි කියලා බලාපොරොත්තු වෙනවා,” ලොරේන් පැවසුවා.

ඊළඟ තරග වාරය පටන් ගන්නකොට නම් ඔහු එතන ඉඳියි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නෑ,” යනුවෙන් ද ඔහු පැවසුවා.

එවර්ටන් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක Joleon Lescott (ජූලියන් ලෙස්කොට්) පැවසුවේ,

ලෝකේ හොඳම පාපන්දු කළමනාකරුවන්ටත් එහෙට ගිහින් විසඳුමක් හොයාගන්න බැරිවෙලා තියෙනවා,” යනුවෙන්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<