නිශාන්, සහන් සහ මධුශංක පරාජිත තරගාවලිය වර්ණවත් කරයි

දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

400
දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

සංචාරක දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ පසුගිය දා සමත් වුනා.

මෙම තරග ත්‍රිත්වය ම පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

  • පළමුතරගය – දකුණු අප්‍රිකානු A කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
  • දෙවැනි තරගය- ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
  • තෙවැනි තරගය- දකුණු අප්‍රිකා A කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ මෙරටට පිවිසෙන්නේ එරට ටෙස්ට් පිටියට එක් වූ ක්‍රීඩකයන් 8 දෙනෙක් ද ඇතුළත් කණ්ඩායමක් සමඟයි. කණ්ඩායමේ නායකත්වය Tony de Zorzi සතු වුනා. ඔහු එරට වෙනුවෙන් ටෙස්ට් තරග 2කට සහ එක්දින තරග 2කට දායකත්වය දක්වා තිබෙනවා.

ඊට අමතර ව දකුණු අප්‍රිකානු ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කළ Gerald Coetzee (ටෙස්ට් 2 – එක්දින 2), Senuran Muthusamy (ටෙස්ට් 3), Keegan Petersen (ටෙස්ට් 11), Zubayr Hamza (ටෙස්ට් 6 – එක්දින 1), Kyle Verreynne (ටෙස්ට් 14 – එක්දින 12), Lizaad Williams (ටෙස්ට් 2 – එක්දින 1) සහ Lutho Sipamla (ටෙස්ට් 3 -එක්දින 5) මෙම කණ්ඩායමට ඇතුළත් වුනා.

නිමා වූ තරගාවලියේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිතිකරණ දක්ෂතා අතර පෙරමුණ ගන්නේ 22 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු Tristan Stubbs. ඔහු මේ දක්වා දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග 13කට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක්. මෙරට සංචාරයේ නිරත වූ ඔහු තමන් ලැබුණ තරග 2 දී ම අර්ධ ශතක වාර්තා කරමින් ලකුණු 117ක් වාර්තා කරනවා.

එහි දෙවැනි ස්ථානය ද හිමි වෙන්නේ ඊටත් වඩා කෝඩුකාරයෙක්ට. තවමත් 20 හැවිරිදි වියේ පසුවෙන Dewald Brevisගේ ක්‍රිකට් දත්ත අතර ඇත්තේ පළමු පෙළ තරග 3ක් පමණයි. ඔහු මෙම තරගාවලියේ දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 98 ඔහුගේ List A ලැයිස්තුවේ හොඳම ඉනිම බවට ද පත්වුනා.

තරගාවලියේ ජයග්‍රහණය සංචාරක ක්‍රීඩකයන් සතු වූව ද පෞද්ගලික දක්ෂතා අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා.

නිශාන් මධුශ්ක

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක තරගාවලියේ වැඩිම ලකුණුලාභියා මෙන් ම තරගාවලියේ වාර්තා කරන ලද එක ම ශතකයේ හිමිකරුවා ද වුනා.

ඔහු තරග 3ක ඉනිම් 3ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 176ක්. ඊට දෙවැනි තරගයේ දී පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී එක් කළ ලකුණු 107ක් ද ඇතුළත්. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ 88.00ක්.

සහන් ආරච්චිගේ

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ද හිමි වෙන්නේ ශ්‍රී ලාංකිකයෙක්ට. 27 හැවිරිදි වමත් පිතිකරු සහන් ආරච්චිගේ තරග 3ක ඉනිම් 3ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 135ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 67.50ක්.

දෙරට අතර පැවති දෙවැනි තරගයේ දී සහන් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඔහු තෙවැනි තරගයේ දී පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක්වූ සහන් තරගාවලියේ පන්දුවාර 15ක් යවමින් ලකුණු 82කට කඩුලු 3ක් දවා ගන්නවා. එය ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර තෙවැනියට ලැයිස්තු ගත වූ දක්ෂතාවයි.

ජනිත් ලියනගේ

දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් තෙවැනි අසුන හිමිකර ගන්නේ 27 හැවිරිදි දකුණත් පිතිකරු ජනිත් ලියනගේ. ඔහු තරග 3ක ඉනිම් 2ක දී ලකුණු 87ක් ලබා ගන්නවා. ඊට පළමු එක්දින තරගයේ දී පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 76ක් ද ඇතුළත්.

ඊට අමතර ව 24 හැවිරිදි දකුණත් පිතිකරු අශේන් බණ්ඩාර තරග 3ක ඉනිම් 2ක දී ලකුණු 77ක් ලබා ගනිමින් ද ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වෙනවා.

ඩිල්ශාන් මධුශංක

දෙරටේ ම පන්දු යැවූ ක්‍රීඩකයන් අතරින් පළමු අසුන වෙන්කර ගැනීමට වමතින් වේගපන්දු යැවූ 22 හැවිරිදි ඩිල්ශාන් මධුශංක සමත් වෙනවා. ඔහු තරග 3ක ඉනිම් 3ක දී පන්දුවාර 23ක් යවමින් ලකුණු 111ක් ලබා දෙමින් කඩුලු 9ක් දවා ගන්නවා.

මෙම තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ දෙවැනි තරගයේ දී ලකුණු 33කට දවා ගත් කඩුලු 4යි. එය තරගාවලියේ හොඳම පන්දු යැවීම් අතර දෙවැනි ස්ථානයට පත් වූ දක්ෂතාවයි. එහි පළමු ස්ථානය සංචාරක කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යැවූ 22 හැවිරිදි වියේ පසුවෙන Gerald Coetzee සතු වුනා. ඔහු අවසන් තරගයේ දී ලකුණු 48කට කඩුලු 5ක් දවා ගනිමින් මේ දක්ෂතාව දැක්වූවා.

දුනිත් වෙල්ලාලගේ

අනතුරුව එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය මෙන් ම ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතරින් දෙවැනි අසුන වෙන්කර ගැනීමට වමතින් දඟ පන්දු යවන 20 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ සමත් වෙනවා.

ඔහු තරග 3ක දී කඩුලු 4ක් දවා ගන්නා ලද අතර පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට ශ්‍රේණිගත වෙනවා. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 28ක්.

දෙරට අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගය මේ මස 12 වැනිදා ද, දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය මේ මස 19 වැනිදා ද ආරම්භ වීමට යෝජිත අතර තරග 2 ම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලියේ ද උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<