දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි

Sri Lanka A vs South Africa A 2023

3506

දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවැත්වුණු තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු මෙම සංචිතයට ද ඇතුළත් වී ඇති අතර විසි දෙහැවිරිදි නිපුන් ධනංජය හට මෙම සංචිතයේ නායකත්වය හිමි වී තිබෙනවා.

මේ අතර නිමා වූ ජාතික සුපර් ලීග් සීමිත පන්දුවාර තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා වෙමින් තරග 8ක දී සාමාන්‍ය 59.85ක රඳවා තබා ගනිමින් ලකුණු 419ක් ලබා ගැනීමට සමත් වූ අශේන් බණ්ඩාරට මෙම සංචිතයේ දොර විවර වී ඇති අතර, එම තරගාවලියේ තරග 8ක දී සාමාන්‍ය 19.19ක සාමාන්‍ය  සහිතව කඩුලු 12ක් දවා ගනිමින් තරගාවලියේ සිව් වැනියට ඉහළ ම කඩුලු ලාභියා බවට පත්වීමට සමත් වූ ලක්ශාන් සඳකැන්ව ද සංචිතයට එක් කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් තේරීම් කමිටු නිළදාරීන් විසින් ශ්‍රී ලංකා සංචිතය සූදානම් කරමින් සිටින පසුබිමක ක්‍රීඩකයින් හට මෙම තරගාවලිය ඉතා වටිනා අවස්ථාවක් වනු ඇති බවයි ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා විසින් සඳහන් කරන්නේ.

” තේරීම් කමිටුවට අවශ්‍ය විට ක්‍රීඩකයින් තෝරා ගැනීමට විකල්ප තිබිය යුතු නිසා මෙම එක්දින තරගාවලිය අතරතුර ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ ඉතා හොඳින් නිරීක්ෂණය කරාවී. සෑම ක්‍රීඩකයකු ම මේ තරගාවලියේ දී තමන්ට ලැබී ඇති කාර්ය භාර්යය ඉටු කිරීමට කැප විය යුතුයි. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් තේරීම ගැන ඔවුන් වද විය යුතු නැහැ. ඔවුන් සිදු කළ යුත්තේ නිර්භීත අන්දමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම (Fearless Cricket) පමණයි. නමුත් ඔවුන් බොහෝ ඉදිරිය බලමින් තමන් අසාර්ථක වේ යැයි බියෙන් දැවී යා යුතු නැහැ. ඉදිරි තරගාවලියේ දී තමන්ට සාක්ශාත් කර ගත හැකි දේ ගැන ඔවුන් අවධානය යොමු කළ යුතුයි. ඔවුන් හොඳින් ක්‍රීඩා කළ හොත් එහි ප්‍රතිඵල ඔවුන්ට ලැබේ වී.”

මෙම තරගාවලිය පිළිබඳ Sunday Times වෙත අදහස් දැක් වූ ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකා A කණ්ඩායම අතර නිල නොවන එක්දින තරග 3ක් සහ සිවු දින තරග 2ක් ජුනි මස 4 සිට 22 දා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා A සංචිතය මෙසේයි;

නිපුන් ධනංජය (නායක), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, සහන් ආරච්ච්ගේ, ලහිරු උදාර, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ, මිලාන් රත්නායක, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක, ඉසිත විජේසුන්දර, ලක්ශාන් සඳකැන්, නිමේශ් විමුක්ති

තරගාවලියට එක් වන දකුණු අප්‍රිකානු සංචිතය;

Tony de Zorzi (නායක), Corbin Bosch, Dewald Brevis, Gerald Coetzee, Zubayr Hamza, Jordan Hermann, Tshepo Moreki, Senuran Muthusamy, Keegan Petersen, Sinethemba Qeshile, Lutho Sipamla, Tristan Stubbs, Kyle Verreynne, Lizaad Williams

මෙම තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<