එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

305
දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

පිතිකරුවන් යළිත් වතාවක් දුර්වල වීමේ වාසිය තමන් වෙත හරවා ගත් දකුණු අප්‍රිකානු ‘A’ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට එරෙහිව අද (8) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූ තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරන්නට සමත් වුනා.

ඒ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට ද දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට හැකි වුනා.

ලකුණු 173ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවෝ ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 5ක් දැවී ගොස් තිබිය දීයි. එ් වන විට ඔවුන් සතුව තවත් පන්දු 85ක් ඉතිරිව තිබුණා.

පහසු ඉලක්කයක් වුවද මෙවර තරගාවලියේ ලකුණු සොයන පිතිකරුවෙකු වන නායක Tony de Zorzi පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ඩිල්ෂාන් මදුශංක සමත් වුනා.

එම අභියෝගය ද සමඟින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරුවා වූ Kyle Verreynne (19) සහ Zubayr Hamza (19) දෙදෙනාගේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දීමට මදුශංක සමත් වුනා.

දඟපන්දු යවන්නන් කැඳවීමේ දී දකුණු අප්‍රිකානු පිතිකරුවන් තරමක් මෙල්ල වුණු ස්වරූපයක් පෙන්නුම් කළ නමුත්, අසීරුතාව මැඩගෙන පන්දුවට පහර දුන් Tristan Stubbs ලකුණු 58ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ජය සටහන් වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියා.

ඔහුට අනගි සහායක් ලබා දුන් Senuran Muthusamy පන්දු 55ක දී ලකුණු 45ක් ලබා ගත්තේ Stubbs මෙන්ම කඩුල්ල ආරක්ෂා කර ගනිමින්. පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුශංක ලකුණ 34කට කඩුලු 3ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 44කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය තමන් සතු කර ගත් දකුණු අප්‍රිකානු නායක Tony de Zorzi දෙවැනි තරගයේ දී සිදු වූ දේ නොවන්නට සිතා පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

බලාපොරොත්තු වූ පරිදිම දකුණු අප්‍රිකානු ‘A’ වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකාව අමාරුවේ දැම්මේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 07ක් ඇතුළත දවා ගනිමිනුයි.

නිශාන් මදුශ්ක සහ ළහිරු උදාර Gerald Coetzeeගේ පන්දු හමුවේ දැවී යද්දී, ලසිත් කෘස්පුල්ලේ Lizaad Williams හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා. නායක නිපුන් ධනංජයට පිටියේ රැඳී සිටියේ පන්දු 2කට පමණයි.

දැවී ගිය කඩුලු 4න් තෙවැනි කඩුල්ල ද Coetzee තමන් සතු කර ගත්තේ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම දැඩි අසරණ තත්වයකට ඇද දමමින්.

කෙසේ වෙතත් අශේන් බණ්ඩාර සමඟ එකතු වුණු සහන් ආරච්චිගේ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක් එක් කරමින් ශ්‍රී ලංකාවට යම් අස්වැසිල්ලක් රැගෙන ආවා.

එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 81ක් ව තිබිය දී Muthusamy විසින් බණ්ඩාරව දවා ගත්තේ ලකුණු 36ක් ලබා සිටින අවස්ථාවේ දීයි. ඉනිමේ එකම හයේ පහරට හිමිකම් කී බණ්ඩාර දැවී යන විට පන්දු 49ක දී හතරේ පහර 5ක් ද තම ඉනිමට එකතු කරගෙන තිබුණා.

ඉනිමේ බර කරට ගත් සහන් ආරච්චිගේ එතැන් පටන් තරගය ඉදිරියට රැගෙන ගියේ කණ්ඩායමේ කොඳුනාරටිය බවට පත් වෙමිනුයි. කඩුලු ආරක්ෂා කර ගැනීම, අනෙක් පසින් කඩුලු දැවී යෑම මෙන්ම ලකුණු ලබා ගැනීමේ වේගය ද පාලනය කිරීම සහන් හමුවේ තිබූ අභියෝගයයි.

එහෙත් මැදපෙළ පිතිකරුවන් වුණු ජනිත් ලියනගේ (11) සහ දුනිත් වෙල්ලාලගේ (13) වැඩි ලකුණු සංඛ්‍යා කරා යෑමට මත්තෙන් දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් සහන් දැවී ගියේ ලකුණු 63ක් ලබා සිටිය දීයි. Coetzeeගේ පස්වැනි කඩුල්ල ලෙස සහන්ගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 42.3ක දී නිමාවට පත්වූයේ ලකුණු 172ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබිය දීයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සහන් අද වාර්තා කළේ මෙම තරගාවලියේ දී පිට පිටම ලද දෙවැනි අර්ධ ශතකයයි. පන්දු 103ක් ඒ සඳහා වැය කළ මේ වමත් පිතිකරුවා තම ඉනිමට හතරේ පහර 4ක් එකතු කරගෙන තිබුණා.

කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු දකුණත් වේගපන්දු යවන Coetzee පන්දුවාර 8.3ක් යවමින් නිලකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 48කට කඩුලු 5ක් බිඳ හෙළු අතර Muthusamy කඩුලු 2ක් දවා ගත්තා.

>> https://stats.thepapare.com/cricket/match/sri-lanka-a-vs-south-africa-a-3rd-unofficial-odi <<

දෙරට අතර ආරම්භ වීමට තරග 2කින් සමන්විත සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 12 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<