Showdown විස්සයි විස්ස ශූරතාව SLIIT විශ්වවිද්‍යාලයට

SLIIT T20 Showdown 2026

2

මාලඹේ Sri Lanka Institute of Information Technology හෙවත් SLIIT University සංවිධානය කළ අන්තර් පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැති SLIIT T20 Showdown ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරයන් බවට පත් වීමට සත්කාරක SLIIT University කණ්ඩායම සමත් වුණා.  

මාලඹේ SLIIT විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ Edith Cowan University (ECU) කණ්ඩායම වූ අතර ඔවුන්ට එරෙහි ව ලකුණු 8ක ජයග්‍රහණයක් SLIIT University කණ්ඩායම විසින් ලබා ගන්නවා. 

තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැති තරගයෙන් Informatics Institute of Technology (IIT) කණ්ඩායමට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) සමත් වෙනවා.  

මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 8ක් තරග වැදුණ අතර එහි දී පළමු අවසන් පූර්ව තරගය සඳහා Informatics Institute of Technology (IIT) කණ්ඩායමත් සහ SLIIT University කණ්ඩායම ද 2 වැනි අවසන් පුර්ව තරගය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) සහ Edith Cowan University (ECU) සුදුසුකම් ලබා ගත්තා. 

පැවැති තරග අතුරින් IIT කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත් SLIIT University කණ්ඩායමත් සහ KDU කණ්ඩායමට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත් ECU කණ්ඩායමත් අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගත්තා.  

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් SLIIT University කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගන්නා ලද අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 142ක් ලබා ගන්නවා.  

ඊට පිළිතුරු ඉනිමට පිවිසි ECU කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 134ක් පමණයි.    

SLIIT University කණ්ඩායම 

නිම්නද කිරින්දගේ (නායක), සහස් විහඟ (කඩුලු රකින්නා), නෙත්ම කරුණාරත්න, මිහිරංග ප්‍රනාන්දු, චමත් චමුපති, තීක්ෂණ ප්‍රනාන්දු, ශාන් සමරදිවාකර, නවිඳු දුලාන්, සෙහත් හෙට්ටිආරච්චි, තුලන සුරක්ශිත් සහ ආදිත්‍ය යාපා. 

 

ECU කණ්ඩායම 

අබුදුල් සලාම් (නායක), සිනෙත් ජයවර්ධන (කඩුලු රකින්නා), රුසඳ ගමගේ, දසිස් මංචනායක, චනුල් අතුකෝරල, චමත් කවිංශ ඈපා, දිනෙත් ජයකොඩි, රුවිශාන් පෙරේරා, රිතිල් සුරවීර, ගිශාන් බාලසූරිය සහ බුලන වීරතුංග. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් SLIIT University කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ මිහිරංග ප්‍රනාන්දු. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා.  ඊට අමතර ව චමත් චමුපති ඉනිම අවසන් වෙද්දී පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනාට අමතර ව ආරම්භක පිතිකරුවන් වූ නෙත්ම කරුණාරත්න පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ද සහ සහස් විහඟ පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී චනුල් අතුකෝරල, රුවිශාන් පෙරේරා සහ ගිශාන් බාලසූරිය කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ECU කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රුසඳ ගමගේ. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.  

ඊට අමතර ව දසිස් මංචනායක පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ද සහ නායක අබ්දුල් සලාම් පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී තුලන සුරක්ෂිත සහ නායක නිම්නද කිරින්දගේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව මිහිරංග ප්‍රනාන්දු, ආදිත්‍ය යාපා, සෙහත් හෙට්ටිආරච්චි සහ නෙත්ම කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • SLIIT University– කඩුලු 3ක් දැවී 142 (20.0) මිහිරංග ප්‍රනාන්දු 47, චමත් චමුපති නොදැවී 26 
  • ECU– කඩුලු 9ක් දැවී 134 (20.0) රුසඳ ගමගේ 32, දසිස් මංචනායක 27, නිම්නද කිරින්දගේ 2/28, තුලන සුරක්ෂිත 2/19 

SLIIT University කණ්ඩායමට ලකුණු 8ක ජයක්.  

තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගය (IIT සහ KDU කණ්ඩායම් අතර) 

මාලඹේ SLIIT ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය පන්දුවාර 15කට සීමා වෙමිනුයි පැවැතියේ. එහි දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ IIT කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනවා.  

IIT කණ්ඩායම 

දුවිඳු සිල්වා (නායක), පසන් සුවහස් (කඩුලු රකින්නා), සදෙව් සොයිසා, ලහිරු ගංගෙවත්ත, පමෝත් ලක්සේන්, නෙත්සිලු ගුණතිලක, ජෝන් මැක්සිමස්, මෙනිඳු ජයසිංහ, කුලිත් රාහුල්, විනුක ජයසුන්දර සහ කුශාන් සස්මික. 

 

KDU කණ්ඩායම 

සුපුන් සෙනෙවිරත්න (නායක), ජනිඳු ජයවර්ධන, ඉසුරු මඩවල, අනුද ජිත්වර, ගීශාන් ප්‍රනාන්දු, මනිත් රත්වත්තේ (කඩුලු රකින්නා), රෙහාන් පෙරේරා, විදුණ විජේබණ්ඩාර,  කල්දේරා, ජනුල ඉඳුසර, සහ ටෙශාන් නෙත්මින. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් IIT කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 91ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි KDU ක්‍රීඩකයෝ තවත් පන්දු 22ක් සහ කඩුලු 7ක් ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.  

එම තරගයේ IIT කණ්ඩායම් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ පමෝත් ලක්සෙන්. ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී මිනෝද් කල්දේරා ලකුණු 15කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව ජනුල ඉඳුසර සහ රෙහාන් පෙරේරා කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා. 

KDU කණ්ඩායම් හඹා යන ඉනිමේ දී ගීශාන් ප්‍රනාන්දු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා ගත් අතර ඊට අමතර ව අනුද ජිත්වර පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.  

ලකුණු 11කට කඩුලු 2ක් දැවී තිබිය දී එක් වෙන ඔවුන් දෙදෙනා 3 වැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ද එක් කරනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • IIT– සියලුම දෙනා දැවී 91 (13.1) පමෝත් ලක්සෙන් 27, රෙහාන් පෙරේරා 2/21, ජනුල ඉඳුසර 2/04, මිනෝද් කල්දේරා 4/15 
  • KDU– කඩුලු 3ක් දැවී 94 (11.2) අනුද ජිත්වර 35, ගීශාන් ප්‍රනාන්දු නොදැවී 42 

KDU කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<