19න් පහළ පළමු පෙළ ශූරතාව ජෝසප්වරුන් දිනා ගනී

U19 School Cricket 2026

4

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කොළඹ 7, රාජකීය විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයක් ලබා ගත් කොළඹ 10, සාන්ත ජෝසප් විද්‍යාලය 2026 වසරේ ශූරයන් බවට පත් වුණා.   

කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 443ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමේ ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 378ක් පමණයි.   

රාජකීය විද්‍යාලය ලකුණු 359ක් පිටුපසින්

ලකුණු 443ක් හඹා ගිය රාජකීය විද්‍යාලයීය ඉනිම අද ආරම්භ වෙන්නේ සාන්ත ජෝසප් විද්‍යාලයට වඩා ලකුණු 359ක් පිටුපසින් සිටිමිනුයි. ඔවුන්ට එම ලකුණු ලබා ගැනීමට කඩුලු 9ක් ඉතිරි ව තිබුණා.  

අද තරගය ආරම්භ වෙද්දී රෙහාන් පීරිස් නොදැවී ලකුණු 31ක් ද සහ දුශේන් උඩවෙල නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.

ඔවුන්දෙ දෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 181ක දී ලකුණු 85ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නායක රෙහාන් පීරිස් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 3 වැනි පන්දුවේ දී දුශේන් උඩවෙල ගේ ඉනිම ද නිමා වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.  

එතැන් සිට පිටියට එක් වූ විමත් දින්සර සහ රමිරු පෙරේරා සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ නලලත රැළි නංවන ඉනිමක නිරත වෙමින් තරගයේ පාලනය ඔවුන් සතු කර ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 287ක දී ලකුණු 190ක සබඳතාවක් ගොඩ නගනවා.  

අනර්ඝ වූ එම ඉනිම් ශතකයට මෙපිටින් නතර කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වීමත් සමඟින් තරගයේ පාලනය නැවත සාන්ත ජෝසප් විද්‍යාලය සතු වෙනවා. 

සිව් වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ විමත් දින්සර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 95ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව රාජකීය ඉනිමට තවත් ලකුණු 10ක් එක් වෙද්දී රමිරු පෙරේරා ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 174කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 90ක් ලබා සිටියා.  

ඔවුන්ට අමතර ව හිමරු දේශාන් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.   

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පා දඟ පන්දු යවන විග්නේස්වරන් ආකාශ් ලකුණු 136කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව විශ්ව පීරිස් කඩුලු 3ක් ද සහ නුශාන් පෙරේරා කඩුලු 2ක් ද දවා ගත්තා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව  

සාන්තජෝසප්වි ද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 443 (120.0) සෙනුජ වැකුණගොඩ නොදැවී 118, රිශ්ම අමරසිංහ 73, චේතින කාවින්ද 78, දිල්ප මදුරංග 56, නුශාන් පෙරේරා 54, මහිරු කොඩිතුවක්කු 3/106, හිමරු දේශාන් 3/73 

 

රාජකීයවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 378 (110.2) හිරුන් ලියනාරච්චි 25, රෙහාන් පීරිස් 43, දුශේන් උඩවෙල 45, විමත් දින්සර 95, රමිරු පෙරේරා 90, හිමරු දේශාන් 36, නුශාන් පෙරේරා 2/63, විග්නේස්වරන් ආකාශ් 5/136, විශ්ව පීරිස් 3/125 

 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත ජෝසප් විද්‍යාලයට) 

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<