බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගත තරු සොයා විශේෂ වැඩසටහනක්

200

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය, පාසල් බැඩ්මින්ටන් සම්මේලනය සහ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය එක්ව දකුණු පළාත තුළ බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ පළමු පියවර පසුගිය සඳුදා (27) අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දී ක්‍රියාවට නැංවූවා.

පළමු පියවරේ දී කනිෂ්ඨ ක්‍රීඩකයින් කෙරෙහි අවධානය යොමු කළ ඔවුන් එහි දී අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ පුහුණු කඳවුරක් පවත්වා ගාල්ල දිස්ත්‍රික් 13න් පහළ සංවර්ධන සංචිතයක් පිහිටුවීමට ද කටයුතු කර තිබුණා.

එමෙන්ම එදිනම මාතර දිස්ත්‍රික් ක්‍රීඩකයින් සඳහා මීරපාර පේෂකර්ම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම වැඩසටහන පැවැත්වූ අතර ඊයේ (28) වලස්මුල්ල යාපා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී තවත් වැඩසටහනක් පැවැත්වුනා.

ශ්‍රී ලංකාව තුළ බැඩ්මින්ටන් ක්‍රීඩාව ව්‍යාප්ත කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට සූදානම් කිරීමට පුහුණු පාසල් ආරම්භ කිරීම සහ ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා දෙමින් ඔවුන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ප්‍රවර්ධන කමිටු සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණය යටතේ බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන් සංවිධානය කර තිබුණා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<