සුපිරි ශූරතාව දඹුලු ක්‍රීඩිකාවන්ට

SLC Women's National Super League 2024

115
SLC Women's National Super League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු වරට සංවිධානය කරන ලද Women’s National Super League සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Dambulla Women කණ්ඩායම අද (12) සමත් වුනා.

කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් ලෙසින් Colombo Women කණ්ඩායම එක් ව සිටි අතර ඔවුන්ට එරෙහිව කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ශූරතාව දිනා ගත්තා.

කණ්ඩායම් 4ක් අතර පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම සිදු වූයේ තරගාවලියේ පළමු වටයේ දී ලත් ප්‍රසාද ලකුණු මත පළමු සහ දෙවැනි ස්ථාන ලද කණ්ඩායම් එක්කර ගනිමිනුයි. ඒ අනුව Colombo Women කණ්ඩායම සහ  Dambulla Women කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටියා.

අවසන් මහා තරගය, කොළඹ, 12, පෙබරවාරි 24, SLC Women’s National Super League 2024

o කාසියේ වාසිය : Dambulla Women

o ක්‍රීඩාංගණය : Colts ක්‍රීඩාංගණය, හැව්ලොක් ටවුන්.

Colombo Women කණ්ඩායම: හසිනි පෙරේරා (නායිකාව), නෙත්මි පූර්ණා, ප්‍රසාදනී වීරක්කොඩි (කඩුලු රකින්නිය), නවෝද්‍යා නෙත්මිණි, සචිනි නිසංසලා, රෝෂිනි පෙරේරා, ජනාදි අනාලි, ශෂිනි ගිම්හානි, තාරිකා සෙව්වන්දි, ඉනෝෂි ප්‍රනාන්දු, තරුෂි තත්සරණි. 

Dambulla Women කණ්ඩායම: හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), සඳලි වීරසිංහ, ඉමල්කා මෙන්ඩිස්, මල්ෂා ෂෙහානි, සත්‍යා සංදීපනී, මල්ෂා රණතුංග, කෞෂිනි නුත්‍යාංගා (කඩුලු රකින්නිය), චමරි ලක්ෂානි, නිමේෂා මධුශානි, මලිකි මදාරා, මනුදි නානායක්කාර.

කාසියේ වාසිය දිනා ගත් Dambulla Women කණ්ඩායමේ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Women කණ්ඩායම නොසිතූ වීරු අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදු වූවා. ඔවුන් සියලු ම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 66ක් පමණයි.

එය මෙවර තරගාවලියේ කණ්ඩායම් වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

මෙම ඉනිම ඉනිම වෙනුවෙන් වැඩි කාර්ය භාරයක් කළේ ආරම්භක පිතිකාරිනී ප්‍රසාදනී වීරක්කොඩි. ඇය පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ජනාදි ආනාදි. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 14ක්. ඒ සඳහා ඇය පන්දු 32කට මුහුණ දෙන අතර හතරේ පහරක් ද ඊට ඇතුලත් කරනවා.

ඔවුන් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව අතරට අතිරේක ලකුණු 14ක් ම ඇතුලත් අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ප්‍රතිවාදී  Dambulla Women කණ්ඩායමේ පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

 පන්දු යැවීමේ දී තවමත් 16 වැනි වියේ පසුවෙන මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ඉගෙනුම ලබන දකුණතින් මඳ වේග පන්දු යවන මනුදි නානායක්කාර පන්දුවාර 6ක් යවමින් නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තා. එය මෙවර තරගාවලියේ වාර්තා වූ ඉහළ ම දක්ෂතා සහිත වූ පන්දු යැවීම බවට ද පත් වූවා.

ඇයට අමතර ව නිමේෂා මධුශානි ලකුණු 13කට කඩුලු 3ක් ද සහ සත්‍යා සංදීපනී ලකුණු 12කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Dambulla Women කණ්ඩායම 12 වැනි පන්දුවාරයේ දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ තවත් කඩුලු 7ක් ද අතැතිවයි.

එහි දී ආරම්භක පිතිකාරිනී සඳලි වීරසිංහ පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා. ඊට අමතර ව නායිකාව වන හර්ෂිතා සමරවික්‍රම පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා.

අනතුරු ව ඉමල්කා මෙන්ඩිස් සහ මල්ෂා ෂෙහානි ලකුණු 10 බැගින් රැස් කළ අතර තරගය ජයග්‍රහණයෙන් යුතුව අවසන් වන විට සත්‍යා සංදීපනී නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී  ශෂිනි ගිම්හානි, තරුෂි තත්සරණි සහ සචිනි නිසංසලා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Colombo Women– සියලුම දෙනා දැවී 66 (25.3)ප්‍රසාදනී වීරක්කොඩි 19, ජනාදි අනාලි 14, මනුදි නානායක්කාර 5/18, නිමේෂා මධුශානි 3/12, සත්‍යා සංදීපනී 2/12
  • Dambulla Women– කඩුලු 3ක් දැවී 68 (11.2)සඳලි වීරසිංහ නොදැවී 18, ශෂිනි ගිම්හානි 1/12

Dambulla Women කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<