ICC චර්යාධර්ම කඩ කිරීමේ වරදට වනිඳුට තරවටු

Australia vs West Indies Test Series 2022

619

ඊයේ (30) ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ දී පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී ICC චර්යාධර්ම පද්ධතියේ පළමු මට්ටමේ විනය කඩකිරීමක් සිදු කළ නිසා වනිඳු හසරංගට නිල වශයෙන් දඬුවම් නියම කර තිබෙනවා.

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ යටතේ පැවැත්වුණු මෙම තරගයේ දී ICCය විසින් ක්‍රීඩකයින්ට පනවා ඇති චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය වනිඳු අතින් කඩ වී ඇති බව සොයාගෙන තිබෙනවා. එහි දී වනිඳුගේ වරද සටහන් වී ඇත්තේ “ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී විනිසුරු තීරණයකට එරෙහිව සිය විරුද්ධත්වය පෙන්වීම” යන්නයි.

ඒ අනුව හසරංගගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් (demerit point) එකතු කර ඇති අතර, එය මාස 24ක වලංගු කාලසීමාවක් ඇතුළත ඔහුගේ ගිණුමට එක් වී ඇති එකම දඬුවම් ලකුණ ද වනවා.

ඊයේ ඇෆ්ගනිස්තාන ඉනිමේ 26 වැනි පන්දුවාරයේ දී වනිඳු විසින් යැවූ පන්දුවකට Najibullah Zadran විසින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී පිටියේ විනිසුරුට අනූව දැවී ගිය ද, නැවත විනිසුරු තීරණ සලකා බැලීමක් (review) සිදු කළ Zadran විසින් තුන්වැනි විනිසුරුගේ තීරණය අනූව නොදැවී ගිය ක්‍රීඩකයකු බව තහවුරු කර ගත්තා. එම අවස්ථාවේ දී වනිඳු විසින් විනිසුරු තීරණ ලබා දුන් තිරය වෙතට සිය අප්‍රසාදය පල කරමින් දෑත් දිගු කළා.

මෙම සිදුවීම පිළිබඳ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ Nitin Menon සහ Lyndon Hannibal දෙදෙනාත්, තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ රවීන්ද්‍ර විමලසිරිත්, සිව්වැනි විනිසුරු ලෙස කටයුතු කළ රුචිර පල්ලියගුරුගේ යන අය විසින් පැමිණිලි කර තිබුණා.

ඒ අනුව ICC තරග තීරක මණ්ඩලයේ එලයිට් පැනලය නියෝජනය කරන රන්ජන් මඩුගල්ල මහතා හමුවේ තම වරද පිළිගත් හසරංග, තමන්ට නියම වන දඬුවමට  ද එකඟ වූ බැවින් එම පැමිණිල්ල පිළිබඳ විදිමත් විභාගයක් සිදු කිරීමට අවශ්‍ය වී තිබුණේ නැහැ.

පළමුවන මට්ටමේ විනය කඩ කිරීමක් සම්බන්ධයෙන් ක්‍රීඩකයකුට පැනවිය හැකි අවම දඬුවම වන්නේ, ක්‍රීඩක තරග ගාස්තුවෙන් උපරිමය 50%කට යටත් වූ දඩයක් සහ දඬුවම් ලකුණු එකක් හෝ දෙකක් ලබා දීමයි.

මෙහි දී මෙම දඬුවම් ලකුණු වලංගු වන්නේ මාස 24ක කාලයක් සඳහා පමණයි.

ඒ අනුව යම් ක්‍රීඩකයකු මාස 24ක කාලයක් ඇතුළත දඬුවම් ලකුණු 4ක් හෝ ඊට වඩා ලබා ගෙන ඇත්නම් ඒවා අත්හිටුවීමේ ලකුණු (suspension points) බවට පරිවර්තනය වී ක්‍රීඩකයාව තහනම් කරනු ලබන අතර, දඬුවම් ලකුණු දෙකක් සම්පූර්ණ කර ඇත්නම් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ විස්සයි විස්ස තරග දෙකක තහනමක් ලබා දිය හැක.

ක්‍රිකට් ක්‍රීඩාවේ දිනෙන් දින අලුත් වන නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<