Armand Duplantis තමන්ගේම ලෝක වාර්තාව අලුත් කරයි

194

සර්බියාවේ පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට අයත් තරගාවලියකට සහභාගී වූ ස්වීඩන් ජාතික මලල ක්‍රීඩක Armand Duplantis රිටි පැනීම ඉසව්වේ තමන්ගේම ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වුනා.

ඔහු එම තරගාවලියේ දී මීටර් 6.19ක දස්කමක් දැක්වීමට සමත්ව තිබූ අතර එම දස්කම සමඟින් ඔහු විසින්ම මීට පෙර මීටර් 6.18ක දස්කමක් දක්වමින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව අලුත් කිරීමට ඔහුට හැකි වුනා.

පිරිමි රිටි පැනීම ඉතිහාසයේ හොඳම දක්ෂතාවන් තුනටම හිමිකම් කියන Armand Duplantis මීට වසර දෙකකට පෙර මීටර් 6.17ක දස්කමක් දක්වමින් පළමු වරට එම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළුවා.

ඇමරිකාවේ උපත ලැබූ Armand Duplantis සිය මවගේ රට වූ ස්වීඩනය නියෝජනය කරමින් මලල ක්‍රීඩාවට පිවිසීමට තීරණය කළ අතර යොවුන් වියේ සිටම ජාත්‍යන්තර පිටියෙහි සිය ආධිපත්‍ය පැතිරීමට ඔහුට හැකි වුනා.

තවමත් 22 වැනි වියේ පසුවන Armand Duplantis තමන් සහභාගී වූ පළමු ඔලිම්පික් උළෙල වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි රිටි පැනීම ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

මෙම වසරේ ගෘහස්ථ ලෝක ශූරතාවය මාර්තු 18 සිට 20 දක්වා සර්බියාවේ Belgrade නුවර දී පැවැත්වීමට නියමිතයි.

>>තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<