අරුණගේත් අමාෂාගේත් සිහින බොඳ වේ

IAAF ලෝක වයස අවුරුදු 20න් පහළ ශූරතාවලිය 2018

404

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය සංවිධාන කරන ලෝක ශූරතා යොවුන් (වයස අවුරුදු 20 න් පහළ) මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුව වූ අරුණ දර්ශන හට පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු විය. ඔහු සිය අවසන් පූර්ව තරගය 5 වන්නා ලෙස අවසන් කළේ තත්පර 46.75ක කාලයක් වාර්තා කරමින්.

අරුණ හා අමාෂා ජාත්‍යන්තරයට අභියෝගයක් වෙයි

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය, අරුණ දර්ශන හා නැගී එන කනිෂ්ඨ ධාවන රැජින අමාෂා ද…

අවසන් පූර්ව වටයේ තෙවන තරගය සඳහා සුදුසුකම් ලැබූ අරුණට තරග වදින්නට සිදු වුනේ මීළඟ බෝල්ට්ලෙස හැඳින්වෙන ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රිස්ටෝපර් ටේලර් වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් සමඟයි. සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු මීටර් 300 තුල හොඳ ධාවනයක නිරත වූ අරුණට තරගයේ වාසිය අහිමි වී ගියේ අවසන් මීටර් 100 තුළ සිය සුපුරුදු රිද්මය සොයා ගැනීමට නොහැකි වීමත් සමඟයි. අවසන් පූර්ව තරග තුනේ පළමු සහ දෙවන ස්ථාන දිනා ගත් ක්‍රීඩකයන් සහ අනෙකුත් ක්‍රීඩකයන් අතුරින් වේගවත්ම කාලයට හිමිකම් කියන දෙදෙනා අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

පසුගිය කාලයේ දැක්වූ දස්කම් සමඟින් මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන කතා බහ බවට පත්වූ අරුණ දර්ශන මෙවර ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා උළෙලට සහභාගී වුනේ පළමු වරට ලෝක ශූරතා යොවුන් පදක්කමක් දිනා ගැනීම පිළිබඳ මුළු මහත් ජාතියේම බලාපොරොත්තු හිස මත රඳවා ගෙනයි. ඔහු මෙම තරගාවලිය දක්වා පැමිණි ගමන් මග එම බලාපොරොත්තු දල්වන්නට හේතු වී තිබුණි. අරුණ පසුගිය දා ජපානයේ පවතී ආසියානු ශූරතා යොවුන් මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්ව ජය ගත්තේ තත්පර 45.79ක අති විශිෂ්ට කාලයක් වාර්තා කරමිනුයි. මෙය 2006 වසරෙන් පසුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මීටර් 400 ඉසව්ව තත්පර 46කට අඩුවෙන් අවසන් කළ පළමු අවස්ථාව වූ අතර එම තරගයේ අවසන් කොටස තුළ තරගයක් නොමැති වූ බැවින් අරුණ තරගය අවසන් කළේ දුවනවාට වඩා, වේගයෙන් ඇවිදිනවාට සමාන ගමනකිනි. අරුණ ජපානයේ වාර්තා කළ එම කාලය මේ වසරේ ලොව වයස අවුරුදු 20න් පහල දස්කම් අතර 7 වන ස්ථානයට ලැයිස්තු ගත වී තිබුණි. ලෝක ශූරතා තරගාවලියේ පළමු වටය තුල දී තත්පර 46.81ක දස්කමක් සමඟින් ප්‍රථම ස්ථානයට තරගය අවසන් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අරුණ එහි දී තම පෞද්ගලික හොඳම දක්ෂතාවට ළඟා වීමට සමත් වුවා නම් අනිවාර්යයෙන්ම අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට අවස්ථාව පැවතුනේ ඊට සුදුසුකම් ලැබූ වේගවත්ම ක්‍රීඩකයාගේ දක්ෂතාවත් තත්පර 45.75ක් ලෙස සටහන් වීම හේතුවෙනුයි.

Source – www.accuweather.com

ෆින්ලන්තයේ ටම්පාරේ හී පැවැත්වෙන දින පහක් වූ මෙම තරගාවලියේ ආරම්භක දින දෙක සාමාන්‍ය පරිදි හොඳ හිරු එළියෙන් යුතුව පැවැත්වුනත් අරුණගේ අවසන් පූර්ව තරගය පැවති තෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වෙනස් කාලගුණයකින් යුක්ත විය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 දක්වා පහත වැටී තිබූ අතර වර්ෂාව ද පතිත වීමට පටන් ගෙන තිබුණි. මෙම තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කිසිසේත්ම හුරු පුරුදු කාලගුණ මට්ටමක් නොවූ අතර තත්ත්වය තවත් නරක අතට හැරුණේ තෙවන අවසන් පූර්ව තරගය මිනිත්තු 20ක් පමණ ප්‍රමාද වීම හේතුවෙන් අරුණ ඇතුළු ක්‍රීඩකයන් හට අධික සීතල දරාගෙන එම කාලය බලා සිටීමට සිදුවීම නිසාවෙනුයි. එබැවින් තම ශරීර උෂ්ණත්වය රඳවා ගැනීම සඳහා අරුණට තම ධාවන ඇඳුමට යටින් උෂ්ණත්වය ආරක්ෂා කෙරෙන විශේෂ ජැකට්ටුවක් පැලඳ තරග කිරීමට සිදු වූ අතර පළමු වටය තුල දී හෝ භාවිතා නොකළ නුපුරුදු පැළඳුම අරුණගේ තරග රටාව බිඳ දමන්නට හේතු වූ බවට සැකයක් නැත.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන ජැමෙයිකානු ක්‍රීඩක ටේලර් (ඔහු ජැමෙයිකානු ජාතික ශූරතා තරගාවලියේ දී තත්පර 44.88ක් ලෙස සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරන ලදි.) තෙවන අවසන් පූර්ව තරගය පාලනය කළ අතර ඔහු තරගය ජය ගත්තේ තත්පර 46.18ක කාලයක් වාර්තා කරමින්.

කැනඩාවේ කමාල් ස්ටුවර්ට් දෙවැන්නා ලෙස තරගය අවසන් කළ අතර තෙවන ස්ථානයට පත්වූ ඇමරිකාවේ හොවාර්ඩ් ෆීල්ඩ්ස් ද වේගවත්ම පරාජිතයෙක් ලෙස අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගන්නා ලදි.

ඊට පෙර දෙවන අවසන් පූර්ව තරගයේ දී බෙල්ජියමේ ජොනතන් සකූර් තත්පර 45.71කින් තරගය අවසන් කර, එරට නව ජාතික කනිෂ්ඨ වාර්තාවක් ද සමඟින් එම තරගය ජය ගනිද්දී දෙවන ස්ථානය දිනා ගත්තේ ජැමෙයිකාවේ චාන්ට්ස් සෝයර් විසින්.

ජොනතන් ජෝන්ස් සහ මිල්ස් මින්සර් ඩාලි විශ්මයට පත් කරමින් පළමු අවසන් පූර්ව තරගය ජය ගන්නට ඉතාලියේ එඩෝරාඩෝ ස්කොටි සමත් විය.

අමාෂා මීටර 100 අවසන් පූර්ව තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකා කනිෂ්ඨ කෙටි දුර දිවීමේ ශූරිය වන අමාෂා ද සිල්වා ඊයේ (12) බාලිකා මීටර 100 ඉසව්වට ඉදිරිපත් වුණු නමුත් අවාසනාවන්ත ලෙස IAAF ලෝක වයස අවුරුදු 20න් පහළ ශූරතාවලියේ බාලිකා මීටර 100 අවසන් පූර්ව වටයෙන් ඉවත් වන්නට ඇයට සිදු විය.

අමාෂා පළමු අවසන් පූර්ව තරගයේ පළමු මංතීරුවේ ධාවනයේ නිරත වූ අතර තත්පර 11.86කින් ඉසව්ව නිමා කළ ඇයට හිමි වුයේ 8 වන ස්ථානයයි. ඇමරිකාවේ ට්වනිෂා ටෙරී තත්පර 11.03කින් එම ඉසව්ව නිම කරමින් නව තරග වාර්තාවක් ද සමඟින් එම තේරීම් තරගයේ පළමු ස්ථානය දිනා ගත් අතර පළමු තත්පරයේ සිටම ඇයට සමවන්නට කිසිවෙකුට නොහැකි විය.


ජැමෙයිකාවේ බ්‍රියානා විලියම්ස් දෙවන අවසන් පූර්ව තරගයේ දී තත්පර 11.25කින් ඉසව්ව නිමා කළ අතර මහා බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටල් අවුවාහ් තත්පර 11.37කින් ඉසව්ව නිමා කරමින් තෙවන අවසන් පූර්ව තරගයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව ටෙරී හා විලියම්ස් කරට කර තරග වදින බාලිකා මීටර 100 ඉසව්ව ඉතා උණුසුම් වනු නොඅනුමානය.  

තරගාවලියේ තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<