Benzemaගෙන් Giroudට වාචික ප්‍රහාරයක්

124
You don't Confuse Formula 1 with Karting Benzema to Giroud

Real Madrid ප්‍රබල ක්‍රීඩක Karim Benzema විසින් ප්‍රංශ ලෝක ශූර Olivier Giroud පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුව තමන් සමඟ සංසන්දනය කිරීමේ හැකියාවක් නොමැති බව පවසා ඇත. 

Benzema සිය Instagram ගිණුමේ පසුගිය දා සිදු කළ සජීවී ප්‍රශ්න විචාරාත්මක වීඩියෝවක දී Giroud පිළිබඳව ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත. එහි දී රසිකයෙක් ඔහු සහ Giroud සංසන්දනය කිරීම සම්බන්ධයෙන් කුමක් සිතන්නේ දැයි යන්න විමසා සිටි විට ඔහු Giroudව පහතට දමමින් ප්‍රකාශ කර සිටියේ;

“අපි Formula 1 සමඟ karting සංසන්දනය කරන්නේ නැහැ. මම දන්නවා මම Formula 1 කියලා.”

ඉහත ප්‍රකාශය ඉතා විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන්නට වූ නමුත් ඔහු එහි දී තවදුරටත් Giroud විසින් ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායමට ලබා දෙන සේවය පිළිබඳව ද අදහස් පළ කරනු ලැබීය. 

“නමුත් ජාතික කණ්ඩායමේ ක්‍රමයට ඔහු ගැළපෙනවා. එච්චරයි. නමුත් ඒක මහා සුවිශේෂී දෙයක් නෙමෙයි. ඔහු ගොඩක් විශේෂ දේවල් කරන්නේ නැහැ. Giroud ජාතික කණ්ඩායමේ අවශ්‍ය දේ කරද්දී Kylian Mbappe සහ Antoine Griezmann තමයි කැපී පෙනෙන්නේ. ඒ අනුව ඔහු ඔහුගේ දේ කරනවා. ඒ ඇරුණම ඔහු ක්‍රීඩා කරන විදිහට හැමෝම කැමතියි ද? මම නම් හිතන්නේ නැහැ.”

අනතුරුව මෙම ප්‍රකාශයට බොහෝ දෙනාගේ විරෝධතාවය එල්ල වන්නට වූ අතර එහි දී Benzema විසින් තම ප්‍රකාශය සාධාරණීකරණය කරමින් ප්‍රකාශ කර සිටියේ බොහෝ දෙනා එම ප්‍රකාශයේ Formula 1 කොටස පිළිබඳව පමණක් කතාබහ කරන බවත්, Giroud ජාතික කණ්ඩායමට ලබා දෙන දායකත්වය පිළිබඳව ඔහු පැවසූ දේ සැලකිල්ලට නොගන්නා බවත් ය. 

“හැමෝම අවධානය යොමු කළේ මම Formula 1 සහ karting ගැන කියපු කොටසට විතරයි. මම ඔහු ජාතික කණ්ඩායමට ලබා දෙන දායකත්වය පිළිබඳව කියපු එක ගැන කවුරුත් කතා කළේ නැහැ. නමුත් ඒක තමයි මම හිතන දේ වගේම ඇත්ත. ඔබ මට කිව්වොත් Ronaldo Nazario සමඟ මාව සංසන්දනය කරන්න කියලා එතැන දී මම තමයි karting, ඔහු Formula 1.”

ඒ අනුව Benzema විසින් Giroud පිළිබඳව එවන් ප්‍රකාශයක් කරද්දී ඉදිරිපෙළ ක්‍රීඩකයින් ලෙස ඔවුන් දෙදෙනා මේ දක්වා පෙන්වා ඇති දක්‍ෂතා පිළිබඳව සලකා බැලිය යුතුය. 

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත් ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධාන ඉදිරිපෙළ ක්‍රීඩකයා වශයෙන් කටයුතු කළ Giroud එහි දී ඔවුන් ක්‍රීඩා කළ තරග 7න් තරග 6ක්ම ආරම්භ කරමින් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන්නට විය. 

එහි දී එකඳු ගෝලයක් හෝ වාර්තා කරගන්නට ඔහු අසමත් වුවත් තරගාවලිය පුරාවට සමස්තයක් ලෙස ඔහු ලබා දුන් දායකත්වය කාගේත් ඇගයීමට ලක්වන්නට විය. ඒ අනුව Giroud පාපන්දු ක්‍රීඩාවේ වටිනා ම කිරුළ වන පාපන්දු ලෝක ශූරතාවය ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙක් වන අතර තවදුරටත් ඔහු 2016 වසරේ UEFA Euro තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ප්‍රංශ කණ්ඩායමේ සාමාජිකයෙක් ද විය.

ඒ අනුව මේ වන විටත් එහි ප්‍රධාන ඉදිරිපෙළ ක්‍රීඩකයා වශයෙන් කටයුතු කරන ඔහු එහි දී තරග 97ක දී ගෝල 39ක් වාර්තා කරගනිමින් ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායමේ වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිකරගෙන සිටී. 

අනෙක් පසින් Benzema ප්‍රංශ ජාතික කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට තරගයකට ක්‍රීඩා කරනු ලැබුවේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී වන අතර ඉන් අනතුරුව එහි හිටපු ක්‍රීඩකයෙකු වන Mathieu Valbuena හට තර්ජනය කිරීමේ මතභේදාත්මක සිදුවීමකට අදාළව Benzema ජාතික කණ්ඩායමට තෝරාගෙන නැත. 

මීට අදාළ පරීක්‍ෂණය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෙම සිදුවීම හේතුවෙන් ඔහු ප්‍රංශයේ හිටපු අගමැති Manuel Valls ඇතුළු බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට ලක්වන්නට විය. 

කෙසේ නමුත් ඔහු තවමත් ඔහුගේ ජාත්‍යන්තර පාපන්දු දිවියට විශ්‍රාම දී නැතත් ප්‍රංශ පාපන්දු සම්මේලනයේ සභාපති Noel Le Graet ද වරක පවසා සිටියේ ඔහුව ඉදිරි තේරීමේ කටයුතු සඳහා සලකා නොබැලෙන බවයි. ඒ අනුව ප්‍රංශ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ඔහුට ඉදිරියේ දී ද බොහෝ දුරට නොලැබෙනු ඇති අතර Giroudට සාපේක්‍ෂව ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු තරග 81ක දී ගෝල 27ක් පමණක් වාර්තා කරගනිද්දී ඔහු ඔවුන් සමඟ එකඳු ප්‍රධාන ශූරතාවයක් හෝ දිනා ගන්නට සමත්ව නැත. 

කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ ක්‍රීඩා සමාජ පාපන්දු දිවිය ඊට වෙනස් තත්වයක් පෙන්නුම් කරයි. එහි දී Benzema, Real Madrid කණ්ඩායමට ක්‍රීඩා කරමින් යුරෝපයේ ප්‍රමුඛතම තරගාවලිය වන UEFA Champions League තරගාවලිය සිව්වරක් ජයග්‍රහණය කරනු ලැබුවේ එහි දී තරගාවලි 3ක් පිට පිට ජයග්‍රහණය කළ ඉතිහාසයේ පළමු කණ්ඩායමේ ද සාමාජිකත්වය දරමිනි. 

තවදුරටත් ඔවුන් සමඟ FIFA පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලි 4ක් සහ La Liga ලීග් තරගාවලි 2ක් ජයග්‍රහණය කර ඇති ඔහු ඊට පෙර ප්‍රංශයේ Lyon කණ්ඩායම ද නියෝජනය කරමින් එහි දී Ligue 1 ලීග් තරගාවලි 4ක් ද ජයග්‍රහණය කර ඇත. එමෙන්ම ඊට අමතරව මෙම ක්‍රීඩා සමාජ දෙකේ දී ම ඔහු තවත් දේශීය තරගාවලි කිහිපයක ද ශූරතාවය හිමිකරගෙන ඇත. 

තවත් කියවන්න;

අනෙක් පසින් Giroud විසින් Chelsea පාපන්දු සමාජය නියෝජනය කරමින් UEFA Europa League තරගාවලිය සහ Montpellier කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රංශ Ligue 1 ලීග් තරගාවලිය එක් වරක් පමණක් ජයග්‍රහණය කර ඇත. තවදුරටත් Chelsea සහ Arsenal කණ්ඩායම් නියෝජනය කරමින් දේශීය තරගාවලි කිහිපයක් ද ජයග්‍රහණය කරන්නට ඔහු සමත්ව ඇත. 

ඒ අනුව සමස්තයක් ලෙස ගත්කළ වෘත්තීය පාපන්දු දිවිය තුළ Benzema විසින් තරග 750ක දී ගෝල 349ක් වාර්තා කරගනිද්දී Giroud විසින් තරග 637ක දී වාර්තා කරගෙන ඇති ගෝල සංඛ්‍යාව 256කි. 

ඒ අනුව මෙම සංඛ්‍යාවන් හරහා බැලූ බැල්මට Benzema ඉදිරියෙන් සිටින බව දිස්වුවත් පාපන්දු ක්‍රීඩකයෙකු හට සිය පාපන්දු දිවිය තුළ ලබාගත් හැකි ඉහළම ගෞරවය වන පාපන්දු ලෝක කුසලානය Giroud විසින් දිනා සිටීම මෙහි දී සලකා බැලීමට සිදුවන් ඇති බව නොඅනුමාන ය.

ඒ අනුව Benzema විසින් Giroud ගැන සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඔබ සිතන්නේ කුමක් ද? දෙදෙනා අතරින් හොඳම ක්‍රීඩකයා කවුරුන් ද?

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<