LPL කණ්ඩායම් ගණන ගැන විශේෂ තීරණයක්

LPL ක්‍රිකට් තරගාවලිය 2021

195

එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ දෙවැනි අදියර ද කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

මීට පෙර සහභාගී වන කණ්ඩායම් ගණන 5 සිට 6 දක්වා වර්ධනය කොට ත්‍රිකුණාමලය නමින් කණ්ඩායමක් එකතු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ LPL තරග සංවිධායකයින් සැලසුම් සකස් කරමින් සිටි නමුත්, මෙවර LPL තරගාවලිය සඳහා ද ගියවර මෙන් කණ්ඩායම් 5ක් පමණක් තරග වදිනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා Daily FT වෙත පවසා තිබෙනවා.

පසුගිය වසරේ දී සම්පූර්ණ LPL තරගාවලියම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එහි දී අවසන් මහා තරගය ද ඇතුළුව තරග 23ක් සාර්ථකව පැවැත්වුනා. කෙසේ නමුත් මෙවර තරග අදියර පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව තවමත් අවසන් තීන්දුවකට පැමිණ නොමැති බව ද සිල්වා මහතා එහි දී වැඩිදුරටත් පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්;

“අපි ගිය පාර LPL එක තිබ්බේ එක ක්‍රීඩාංගණයක විතරයි. තරගාවලිය එක ක්‍රීඩාංගණයක විතරක් හිර කරන්නේ නැතිව තවත් ක්‍රීඩාංගණයකට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා, ඒ වුනත් ගොඩක් වෙලාවට ඒක කරන්න අමාරු වෙයි. ඒක නිසා මෙවර තරගාවලියත් සම්පූර්ණ ලෙසම හම්බන්තොට දී ම පවත්වන්න වෙයි. දැනට නම් අපි ඒ ගැන අවසන් තීරණයක් අරගෙන නැහැ” යැයි ද සිල්වා මහතා පවසා තිබෙනවා.

“දැන් ලෝකේ ක්‍රිකට් එක යන විදිහ අරගෙන බැලුවහම ගොඩක් ප්‍රවීණ ක්‍රීඩකයින් මේ ලීග් ක්‍රිකට් තරගාවලි වලට සහභාගී වෙනවා. මෙවර අපේ LPL තරගාවලිය සඳහා ද විදෙස් ක්‍රීඩකයින් අතර ලොකු උනන්දුවක් තියෙනවා කියලා මම හිතනවා. ඒක නිසා අපිට මෙවර තරගාවලියටත් විදේශ ක්‍රීඩකයින් 25-30ක් වගේ ප්‍රමාණයක් හොයාගන්න එක ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ රටේ ක්‍රීඩකයින් සියලුම දෙනාටම මේ තරගාවලිය පැවැත්වෙන කාලය තුල වෙන කිසිම තරගාවලියක් නැති නිසා ඔවුනුත් මේ තරගාවලිය ක්‍රීඩා කරනවා” යැයි ද සිල්වා මහතා අවසන් ලෙස පවසා සිටියා.

පසුගිය වසරේ පැවැත්වුණු LPL පළමු අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් 33 දෙනෙක් එම කණ්ඩායම් 5 අතරේ බෙදී ගියා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා ලොව තතු රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<