පාකිස්තාන ක්‍රීඩකයන් 9 දෙනෙක් සෞඛ්‍ය නීති කඩා අමාරුවේ

150
PCB

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ පාකිස්තාන ජාතික විස්සයි විස්ස තරගාවලිය (National T20 Cup) මේ වන විට පාකිස්තානයේ දී පැවැත්වේ. දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන මධ්‍යයේ පවත්වන මෙම තරගාවලිය අතරතුර සිදු වූ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සිය අවධානය යොමු කර තිබුණි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ සිදුවීම් තහවුරු කරමින් මෙම තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් සහ නිලධාරීන් කීපදෙනෙකු කොරෝනා හෙවත් COVID-19 වයිරසය සම්බන්ධයෙන් පනවා තිබූ සෞඛ්‍ය ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනයක් නිකුත් කර තිබේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් එහි දී මෙම තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් නව දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු මෙලෙස සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කළ බව පවසා තිබේ. එම ක්‍රීඩකයන් නව දෙනා අතරින් තිදෙනෙකු පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් බව ද ඔවුන් පවසා ඇත. 

ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ මෙම අනුමත කළ නොහැකි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තම ආයතනය දැඩි ලෙස කෝපයට සහ කලකිරීමට පත්ව සිටින බව එම නිවේදනයේ තවදුරටත් දැක්වේ. 

තවත් ක්‍රිකට් පුවත්:

මෙම සෞඛ්‍ය ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කිරීම සිදුව ඇත්තේ එම ක්‍රීඩකයන් සහ නිලධාරීන් රැඳී සිටි රාවල්පිණ්ඩි හෝටල් පරිශ්‍රයේදීය. 

මෙම සිදුවීමත් සමඟින් අදාල ක්‍රීඩකයන් නව දෙනා හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇඇත්දැයි බැලීමට අදාල පරීක්ෂණ සිදු කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි. එහි දී ඔවුන්ට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය.

නමුත් එම හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීමෙන් අනතුරුව යම් ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු අදාල සෞඛ්‍ය ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කළහොත් ඔවුන් වහාම තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය දන්වා තිබේ.

“පාකිස්තාන ක්‍රිකට් ආයතනය විදිහට අපි ගොඩක් කෝපයට සහ කලකිරීමට පත්වෙලා ඉන්නවා අපේ මේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සහ නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන්. ඔවුන් අපි නියම කළ ජෛව ආරක්‍ෂිත වටපිටාවෙන් එළියට ගිහින් තියනවා. ඒක අනුමත කරන්න බැහැ. ඔවුන් එහෙම කරන එකෙන් ඔවුන්ගේ විතරක් නෙමෙයි ඔවුන්ගේ කණ්ඩායමේ වගේම මුළු තරගාවලියටම සහභාගී වෙන සියලු දෙනාගේ ආරක්ෂාව අනතුරේ දානවා” පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ඉහල පෙළේ අධ්‍යක්ෂකවරයෙකු වන නදීම් ඛාන් පවසා සිටියේය.

“අපිට ක්‍රිකට් ආයතනය විදිහට මේ දේවල් අනුමත කරන්න බැහැ. අපි මේ ගැන අදාල ක්‍රීඩකයන් සහ නිලධාරීන් එක්ක සාකච්ඡා කළා. ඒ වගේම අපි ඔවුන්ට දැනුම් දුන්නා අනාගතයේ දී මේ වගේ සිදුවීමක් සිදුවුනොත් ක්‍රිකට් ආයතනය විදිහට අපි කිසිම සමාවක් ඔවුන්ට දෙන්නේ නැහැ කියලා. ඉදිරියේ දී මේ වගේ සිදුවීම් සිදුවුනොත් අපි ඒ පුද්ගලයන්ව වහාම තරගාවලියෙන් ඉවත් කරන්න පියවර ගන්නවා. ” 

“මම බලාපොරොත්තු වෙනවා ක්‍රීඩකයන් සහ නිලධාරීන් මේ ගැන ඉදිරියේ දී වඩාත් සැලකිලිමත්ව කටයුතු කරාවි කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් ලොකු විරාමයකින් පස්සේ තමයි නැවත ආරම්භ වුනේ. ඉතින් මුළු ලෝකයම බලාගෙන ඉන්නේ ඒ දිහා. මේ වගේ වගකීම් විරහිත ක්‍රියා වලින් ඒ සියලු දේ නැතිවෙන්න පුළුවන්. 

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විදිහට අපි සැලසුම් කරන හැම දෙයක්ම මේ වගේ සිදුවීමක් නිසා නැති වෙන්න පුළුවන්. අපි මේ කොරෝනා වයිරසයෙන් පස්සේ ක්‍රිකට් ආරම්භ වුනාම පාකිස්තානයේ ක්‍රිකට් ඉදිරියට ගේන්න ගොඩක් දේවල් කරනවා. දේශීය තරගාවලි වගේම ජාත්‍යන්තර තරගාවලි පවත්වන්න අපි සැලසුම් කරනවා. මේ වගේ සිදුවීම් දිගටම සිදුවුනොත් ඒ සියල්ල අපතේ යනවා.” 

මෙම සිදුවීමට සම්බන්ධ ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට දැඩි ලෙස අවවාද කර ඇති අතර ඔවුන්ට සිදු කළ පරීක්ෂණවල ගාස්තුව ද අයකරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා ආරම්භ වූ පාකිස්තාන ජාතික විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පසුගිය 17 වැනිදා පැවති අතර එහි දී ජයග්‍රහණය වාර්තා කළ Southern Panjab කණ්ඩායම සහ Khyber Pakhtunkhwa කණ්ඩායම අවසන් තරගය සඳහා තරග වැදීමට නියමිතය

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<