Tear B එක්දින ශූරතාව මොරටු පුත්‍රයන්ට

SLC Tear B One Day Tournament 2023

413

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Tear B සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව ක්‍රීඩා සමාජය සමත් වූවා. 

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගාවලියේ අවසන් තරගයේ ප්‍රතිවාදීන් වූ Saracens කණ්ඩායමට එරෙහිව ඩක්වරත් ලුවිස් න්‍යාය මත ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වූවා.  

මොරටුව ක්‍රීඩා සමාජය: අනුක් ද අල්විස් (නායක), සමිත ඩිල්ශාන්, අනුශ්ක සී. පෙරේරා, ක්‍රිශේන් අපෝන්සු (කඩුලු රකින්නා), යොහාන් පෙරේරා, රවීන් පෙරේරා, සුමල්ක ප්‍රනාන්දු, උමයංග සුවාරිස්, නිපුන් පීරිස්, තේමිය ගුණරත්න, සශික පෙරේරා. 

Saracens ක්‍රීඩා සමාජ: සෙනාල් ද සිල්වා (නායක), සමිත රංග, දිනිත සිරිවර්ධන, කෞශාන් කුලසූරිය, ගවින් බොතේජු (කඩුලු රකින්නා), දේශාන් ප්‍රනාන්දු, කසුන් ඒකනායක, රොමේෂ් නල්ලපෙරුම, හෂාන් චතුරංග, නවීන් ගුණවර්ධන, තනුග පලිහවඩන. 

පළමුවෙන් පන්දුවට පහර දුන් මොරටුව ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 231ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ප්‍රතිවාදී Saracens කණ්ඩායමට තම කෝටාව අවසන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වර්ෂාව හේතුවෙන් එම ඉනිම 38.0 වැනි පන්දුවාරයේ දී නතර කිරීමට සිදු වීම හේතුවෙන්. 

එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට කිසිදු අවස්ථාවක් නොලැබුණ බැවින් පිටියේ විනිසුරුවන් වූ දීපාල් ගුණවර්ධන සහ නිලාන් ද සිල්වා යන මහත්වරුන් විසින් තරගයේ විසඳුම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කිරීමට බාර කෙරුණා.  

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා දෙවැනියට පිතිකරණයේ යෙදුණ Saracens කණ්ඩායමට ලකුණු 189ක් අවශ්‍ය වූවත් ඒ වෙද්දී ඔවුන් ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 167ක් පමණයි.  

මෙම තරගාවලිය සඳහා A සහ B කාණ්ඩ 2 යටතේ කණඩායම් 12ක් සහභාගී වූනා.  

A කාණ්ඩය: මොරටුව ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, මැලේ ක්‍රිකට් සමාජය, සිංහ ක්‍රීඩා සමාජය සහ කලුතර නාගරික ක්‍රීඩා සමාජය. 

B කාණ්ඩය : සැරසන්ස් ක්‍රීඩා සමාජය, ලංකන් ක්‍රිකට් සමාජය, යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය, රියෝ ක්‍රීඩා සමාජය, ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය සහ කැන්ඩි ක්‍රිකට් සමාජය.  

ඒ අනුව පැවැති තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කළ මොරටු ක්‍රීඩකයෝ සහභාගී තරග 5න් 3ක් ජයග්‍රහණය කරමින්, තරගයක් පරාජය වෙමින් සහ විසඳුමක් නොමැති තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 10ක් ලබා ගත්තා.  

එම කාණ්ඩයේ ම ලියෝ ක්‍රීඩකයෝ ද තම ගමන් මාර්ගය නිමා කරන්නේ ද ඒ ආකාරයෙන්මයි. එහෙත් ලකුණු ලබා ගැනීමේ වේගය මත 1.736ක් ලබා සිටි මොරටු ක්‍රීඩකයෝ A කාණ්ඩයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

B කාණ්ඩය නියෝජනය කළ සැරසන් ක්‍රීඩකයෝ ද තමන් සහභාගී තරග 5න් 3ක් ජයග්‍රහණය කරනු ලබන අතර, ඔවුන්ගේ නොවිසඳුණ තරග 2ක් ද සමඟින් ලබා ගත් ප්‍රසාද ලකුණු 11ත් සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.  

ඒ අනුව පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් මොරටුව ක්‍රීඩා සමාජය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු අනුශ්ක සී. පෙරේරා පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 70ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව උමයංග සුවාරිස් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා ගනිද්දී රවීන් පෙරේරා පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 34ක් ලබා ගත්තා.  

කඩුලු බිඳ දැමීමේ දී නායක සෙනාල් ද සිල්වා ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව තනුග පලිහවඩන කඩුලු 2ක් දවා ගත් අතර හෂාන් චතුරංග සහ කසුන් ඒකනායක කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දිනිත සිරිවර්ධන. ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා. ඊට අමතර ව ගවින් බොතේජු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා. දිනිත සහ ගවින් අතර 3 වැනි කඩුල්ලට පන්දු 101ක දී ලකුණු 65ක සබඳතාවක් ගොඩ නැගුණා.  

පසු පෙළ පිතිකරුවන් දේශාන් ප්‍රනාන්දු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද සහ කසුන් ඒකනායක පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී නායක අනුක් ද අල්විස් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිද්දී සශික පෙරේරා, අනුශ්ක සී. පෙරේරා සහ තේමිය ගුණරත්න කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

අවසන් මහා තරගය, SSC, 08, දෙසැම්බර් 2023, SLC Tear B One Day Tournament 2023 

මොරටුව ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී 231 (50.0) අනුශ්ක සී. පෙරේරා 70, රවීන් පෙරේරා 34, සුමල්ක ප්‍රනාන්දු 20, උමයංග සුවාරිස් 36, තනුග පලිහවඩන 2/39, සෙනාල් ද සිල්වා 4/26 

Saracens SC – කඩුලු 7ක් දැවී 167 (38.0) දිනිත සිරිවර්ධන 49, ගවින් බොතේජු 38, දේශාන් ප්‍රනාන්දු 26, කසුන් ඒකනායක නොදැවී 22, අනුක් ද අල්විස් 3/36 

මොරටුව ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 21ක ජයක්.  

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මංගල ප්‍රදීප් (ලියෝ ක්‍රිකට් සමාජය)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – අකීල් ඉන්හාම් (ලියෝ ක්‍රිකට් සමාජය) 
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – දිනිත සිරිවර්ධන (Saracens SC)
  • අවසන් තරගයේ වීරයා – අනුශ්ක සී. පෙරේරා (මොරටුව ක්‍රීඩා සමාජය)

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<