ඕෂදී ගේ ගුවන් ප්‍රහාරයෙන් යුද හමුදාව පසු බසී

SLC Women’s Invitation Major Club Tournament 2023

261

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ආරාධිත Major Club කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අද (08) සමත් වූවා. 

හැව්ලොක් පෙදෙස, BRC ක්‍රීඩා පිටියේ දී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායමයි. ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 11ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.  

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම: ඕෂදී රණසිංහ (නායිකාව), චමරි පොල්ගම්පළ, සඳුන් අබේවික්‍රම, මල්කි මදාරා, අමා කාංචනා, රුචිනි සමරසිංහ, මල්ෂා ෂෙහානි, තරුකා ෂෙහානි, තරුෂි තත්සරණි, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය) ඉනෝෂි ප්‍රනාන්දු.  

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම: සුගන්ධිකා කුමාරි (නායිකාව), අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), ඉමල්කා මෙන්ඩිස්, නෙත්මි සේනාරත්න, රෝෂිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, නිලුකා කුශාන්ති, අචිනි කුලසූරිය, සඳනි ද සිල්වා, සුදර්ශිකා බණ්ඩාර, නිමේෂා මධුශානි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩිකාවෝ ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ වර්ෂාව හේතුවෙන් තරගය 38.0 වැනි පන්දුවාරයේ දී නතර කරන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 110ක් ලබා සිටියා.  

එතැන් සිට නැවත තරගය ආරම්භ කිරීමට අවස්ථාව නොලැබුණ බැවින් තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තීරණය වූවා. ඒ අනුව ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට ඒ වෙද්දී ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 99ක් පමණයි. එම අවශ්‍යතාව සපුරා තිබූ බැවින් තරගයේ ජයග්‍රහණය ගුවන් හමුදාව සතු වූවා.  

කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද ඔවුන්ගේ එම තීරණය ප්‍රතිවාදීන් අභියෝගය ලක් කළේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 14ක් තුළ බිඳ දමමින්. එමෙන් ම ඔවුන්ට පළමු Power Play අවස්ථාවේ දී ලබා ගැනීමට හැකි වූයේ ද ලකුණු 15ක් පමණයි.  

කෙසේ වෙතත් සිවු වැනි කඩුල්ලට එක් වූ නිලක්ෂි ද සිල්වා සහ රෝෂිනි පෙරේරා පන්දු 74ක දී ලකුණු 47ක් එක් කරමින් යුද හමුදා ලකුණු පුවරුව තරමක සුවදායි තත්ත්වයට ගෙන ආවා.  

ඒ වෙද්දී යුද හමුදා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 61ක් වූ අතර රෝෂිනි පෙරේරා පන්දු 56ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා ගනිමින් දැවී ගියා. අනතුරුව නැවතත් එවැනි සබඳතාවක් ගොඩ නැගීමට යුද හමුදා ක්‍රීඩිකාවන්ට හැකි වූයේ නැහැ.  

යුද හමුදා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නිලක්ෂි ද සිල්වා. ඇය පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා.  

ඇයත්, රෝෂිනි පෙරේරාටත් අමතර ව ඉලක්කම් 2 ලකුණු රැස් කිරීමට සමත් වූයේ තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පමණයි. ඒ අචිනි කුලසූරිය (13) සහ නායිකා සුගන්ධිකා කුමාරි (10)යි.  

යුද හමුදා ඉනිම අඩපණ කිරීමේ දී ගුවන් හමුදා නියමුවරිය වූ ඕෂදී රණසිංහ ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව ඉනෝෂි ප්‍රනාන්දු සහ මල්ෂා ෂෙහානි කඩුලු 2 බැගින් ද සහ තාරුකා ෂෙහානි කඩුල්ලක් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම ආරම්භ කළේ චමරි පොල්ගම්පල සහ සඳුනි අබේවික්‍රමයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 131ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කළා. එහි දී ආරම්භක පිතිකාරිනි චමරි පොල්ගම්පල පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.  

එම දැවී යෑමත් සමඟින් පිටියට පිවිසි මල්කි මදාරා (7) සහ අමා කාංචනා (0)ට සාර්ථක වීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ ඉඩ ලබා දුන්නේ නැහැ.  

නමුත් එතැන් සිට තරගයේ පාලනය නැවත සියතට ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූවා. ඒ අනුව තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට නායිකා ඕෂදී රණසිංහ පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 34ක් ද සහ සඳුන් අබේවික්‍රම පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා සිටියා.  

ඔවුන් දෙදෙනා එක් ව සිවු වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 50ක් එක් කළේ පන්දු 70කට පමණක් මුහුණ දෙමිනුයි.  

පන්දු යැවීමේ දී නිමේෂා මධුශානි සහ නිලූකා කුශාන්ති කඩුල්ල බැගින් දවා ගත්තා.   

අවසන් මහා තරගය, BRC, 08, දෙසැම්බර් 2021, Women’s  Invitation Major Club Tournament 2023 

  • ක්‍රීඩාංගණය – BRC 
  •  කාසියේ වාසිය – යුද හමුදාව  

ශ්‍රී ලංකා යුද හමුදාව – කඩුලු 8ක් දැවී 154 (50.0) රෝෂිණි පෙරේරා 23, නිලක්ෂි ද සිල්වා 72, ඉනෝෂි ප්‍රනාන්දු 2/25, ඕෂදි රණසිංහ 3/20, මල්ෂා ෂෙහානි 2/23 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව – කඩුලු 3ක් දැවී 110 (38.0) චමරි පොල්ගම්පළ 26, සඳුනි අබේවික්‍රම නොදැවී 31, ඕෂදී රණසිංහ නොදැවී 34, නිමේෂා මධුශානි 1/14 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාන්තා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 11ක ජයක්.  

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය –

ඉනෝකා රණවීර (ශ්‍රී ලංකා නාවික හමුදාව) 

  • තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය –

හර්ෂිතා සමරවික්‍රම (ශ්‍රී ලංකා නාවික හමුදාව) 

  • තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව – 

හංසිමා කරුණාරත්න (ශ්‍රී ලංකා නාවික හමුදාව) 

  • අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – 

ඕෂදි රණසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<