නවසීලන්තයට යන අපේක්ෂිත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

952

එංගලන්තය සමඟ පැවැත්වූ තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. එංගලන්ත තරගාවලියට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග කාලසටහන තවදුරටත් කාර්යබහුල වන්නේ ඉදිරි මාස කිහිපය තුල නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව බලා සංචාරය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වන නිසාවෙනි.

ප්‍රබල තුරුම්පු කිහිපයක් නවසීලන්ත තරගාවලියට සූදානමින්

පසුගිය දා නිමා වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුර ද ශ්‍රී ලංකා ක්‍රිකට්…

ඒ අතරින් එළඹෙන 15 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය එක් තෙදින පුහුණු තරගයකින්, ටෙස්ට් තරග දෙකකින්, එක්දින ක්‍රිකට් තරග තුනකින් හා එක් විස්සයි තරගයකින් සමන්විත වේ.

එම තීරණාත්මක ක්‍රිකට් තරගාවලියේ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස 3 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර එංගලන්ත සංචාරය අවසන් වීමත් සමඟම ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කොට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා තීරණය කරන ලදි.

ඒ නව තේරීම් කමිටුව විසින් නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තවමත් නිල වශයෙන් තෝරාගෙන නොමැති නමුත් විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව ක්‍රීඩකයින් 16-17 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයක් නවසීලන්තය බලා පියාසර කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් එංගලන්තය සමඟ ගාල්ලේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක්වීම නිසා එම තරගාවලිය අවසන් ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කිරීමට චන්දිමාල් හට නොහැකි විය. කෙසේ නමුත් මේ  වන විට ඔහු ඉන් සම්පූර්ණ සුවය ලබාගෙන තිබේ.

වමතින් පිතිකරණයේ නිරත වන ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එංගලන්තය සමඟ පැවැත්වූ අවසන් ටෙස්ට් තරගය පමණක් ක්‍රීඩා කොට පිළිවෙළින් ලකුණු 6ක් හා ලකුණු 18ක් ඉනිම් දෙකේ දී ලබා ගත්තේය. කෙසේ නමුත් පළමු ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කොට ඉනිම් 4ක දී ලකුණු 41ක් ලබා ගත් කෞෂාල් සිල්වා වෙනුවට ගුණතිලක ආරම්භ පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් පවතී.

ලැබ්රෝයි ඇතුළු තේරීම් කමිටුව ගෙදර යවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) පස් දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට්..

පසුගිය තරග කිහිපය පුරාවට දුටු ශ්‍රී ලංකා මැදපෙළ දුර්වලතා සකස් කරගැනීම වෙනුවෙන් අත්දැකීම් බහුල වමත් පිතිකරුවෙක් වන ලහිරු තිරිමාන්න හා යොවුන් ක්‍රීඩක සධීර සමරවික්‍රම මෙවර ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර සමරවික්‍රම නිමා වූ එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තරග තුනක දී ලකුණු 90ක් ලබාගත්තේ එක් අර්ධ ශතකයක් ද ලබාගෙනයි.

යම් හෙයකින් නිරෝෂන් දික්වැල්ල අංක 7 පිතිකරණ ස්ථානයේ තවදුරටත් අසාර්ථක වුවහොත් කඩුලු රැකීම වෙනුවෙන් සධීර සමරවික්‍රම කණ්ඩායමට ඇතුළත් කිරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කරනු ඇත.

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ දිල්රුවන් පෙරේරා  ශ්‍රී ලංකා ප්‍රධාන දඟපන්දු යවන්නා බවට පත්ව ඇත්තේ රංගන හේරත්ගේ විශ්‍රාම යාම නිසාවෙනි.

>> ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

එපමණක් නොව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජයගේ පන්දු යැවීම සැක සහිත යැයි පිටියේ විනිසුරුවරුන් වාර්තා කිරීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවත්වනු ලබන පන්දු යැවීමේ ඉරියව්ව පරික්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පසුගිය දා (20) පිටත්ව යාම නිසා දෙරට අතර පැවැත්වුණු තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට අකිලට නොහැකි විය.

කෙසේ නමුත් අකිලගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කිරීම සඳහා පැවැත්වූ පරීක්ෂණය මේ මස 23 වැනිදා පැවැත්වුණු අතර දෙසැම්බර් 7ට පෙර අකිලගේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට නියමිත නිසා එහි ප්‍රතිඵලය නොදැන නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීම ගැටලුවක් වීමට ඉඩකඩ ඇති නමුත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා (ICC ප්‍රතිඵලය යහපත් වුවහොත්) අකිල දනංජය නිසැකවම ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාවේ හෝ ආසියානු තණතීරු මත ක්‍රීඩා කරන විට ඕනෑම කණ්ඩායමක් දඟපන්දු යවන්නන්ට සිය සංචිතයේ වැඩි ඉඩක් වෙන්කළ ද ආසියාවෙන් එපිටට යාමේ දී එය සිදුකිරීම එතරම් නුවණට හුරු නොවන්නේ  එම තණතීරු වේගපන්දු යවන්නන්ට වැඩි වාසියක් ගෙන දෙන නිසාවෙනි.

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළ මාලින්ද පුෂ්පකුමාර හා ලක්ෂාන් සඳකැන් අතරින් මැණික් කටුව උපයෝගී කරගෙන දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් හට සංචිතයේ ස්ථානයක් වෙන්වීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන අතර එම එංගලන්ත ටෙස්ට් තරගාවලියේ සංචිතයේ සිටි  සුරංග ලක්මාල්, දුශ්මන්ත චමීර හා කසුන් රාජිත නිසැකවම නවසීලන්තය බලා පියාසර කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් වනු ඇත.

ශාරීරික යෝග්‍යතාවය සම්පූර්ණ නොවීම නිසා  අවසන් වරට පැවති ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා නොකළ නුවන් ප්‍රදීප් ද මේ අපේක්ෂිත සංචිතයට ඇතුළත් කිරීමට හැකි අතර කණ්ඩායමේ විනය නීති මාලාව උල්ලංඝනය කළ ලහිරු කුමාර වෙනුවට ලහිරු ගමගේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අන්තර්ගත වීමට හැකිය.

අපේක්ෂිත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක,  ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල,  දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, දුශ්මන්ත චමීර

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<