පෙර ශූරියන් පරදා දේවපතිරාජ ක්‍රීඩිකාවෝ ශූරතාව දිනා ගනී

U19 Girls Division 1 Inter-Schools Limited Overs Tournament 2023

244

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (17) සමත් වුනා.  

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ පසුගිය වසරේ ශූරියන් වූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයි.  

දේවපතිරාජ විද්‍යාලය – සුමුදු නිසංසලා (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා. නෙතඟි ඉසුරංජලී (කඩුලු රකින්නිය) සෙනුරි වාසනා, ලක්ෂි අභිමානි, ශෂිනි ගිම්හානි, රශ්මි නේත්‍රාංජලී, මහිංසා නෙත්මිණි, ශෙහාරා ඉඳුවරී සහ හිරුණිකා නිවර්ථනී. 

රත්නාවලී බාලිකා විද්‍යාලය – උමායා රත්නායක (නායිකාව), හසිනි විජේසිංහ, අංජලී ගම්හේවාගේ (කඩුලු රකින්නිය) තරුෂි කාවින්දි, දෙව්මිණි පබසරා, කවිශ්කි හෂ්මිකා, නිකේෂා විජේසේකර, මනුදි බිහංසා, ඉමායා පෙරේරා, අස්මිතා රසාජලී සහ අමානදී තාරින්ද්‍යා. 

කාසියේ වාසිය දිනා ගත් රත්නාවලී බාලිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් ඊට පිටියට පිවිසිය ද ඔවුන්ට සිතු සේ ඉනිමක් ගොඩ නැගිමට ප්‍රතිවාදී දේවපතිරාජ ක්‍රීඩිකාවෝ ඉඩ දුන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිම ලකුණු 77ක දී නිමා කිරීමට ඔවුන් සමත් වූවා.  

එම ඉනිම වෙනුවෙන් වැඩිම දායකත්වයක් දැක් වූයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පමණයි. ආරම්භක පිතිකාරිනි හසිනි විජේසිංහ පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා ගත් අතර පසු පෙළින් පිටියට පිවිසි ඉමාය පෙරේරා පන්දු 45කට මුහුණ දෙමින් කිසිඳු සීමා ලකුණක් නොමැතිව නොදැවී ලකුණු 10ක් ලබා ගත්තා.  

අනෙක් කිසිඳු පිතිකාරිනියකට ලකුණු 10 සීමාවට ළඟා වීමට දේවපතිරාජ පන්දු යවන්නියෝ ඉඩ දුන්නේ නැහැ. 

පන්දු යැවීමේ දී හිරුණිකා නිවර්ථනී පන්දුවාර 10ක් යවමින් ලකුණු 05කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ෂෙහාරා ඉඳුවරී සහ හිරුණි හංසිකා කඩුලු 2 බැගින් ද සහ ශෂිනි ගිම්හානි කඩුල්ලක් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දේවපතිරා ක්‍රීඩිකාවන්ට ද එම ඉලක්කය ලෙහෙසියෙන් සපුරා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාවො ඉඩ තැබුවේ නැහැ.  

ඔවුන්ට මෙම ලකුණු 77 හඹා යෑමට කඩුලු 6ක් පුද දීමට සිදු වූ අතර ඒ වෙනුවෙන් 24 වැනි පන්දුවාරය තෙක් බලා සිටීමට සිදු වූවා. දේවපතිරාජ ඉනිමේ කැපී පෙණෙන ක්‍රීඩිකාව වූයේ ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි. ඇය පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.  

ඊට අමතර ව  ශෂිනි ගිම්හානි පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා. ජයග්‍රහණය කරා යෑමේ දී පිටියට පිවිසි අනෙක් කිසිදු පිතිකාරිනියකට ලකුණු 10 සීමා පසු කිරීමට රත්නාවලී පන්දු යවන්නියෝ ඉඩ තැබුවේ නැහැ. 

කෙසේ වෙතත් ඔවුන් තවත් පන්දු 158ක් ඉතිරිව තිබිය දී තම ජයග්‍රහණය සපුරා ගත්තා.  

රත්නාවලී බාලිකාවන් වෙනුවෙන් පන්දු යැවීමේ දී උමාය රත්නායක ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නිකේෂා විජේසේකර ද කඩුල්ලක් දවා ගත්තා.  

අවසන් මහා තරගය, කොළඹ 7, නොවැම්බර් 17, 2023, U19 Girls Division 1 Inter-Schools Limited Overs Tournament

  • ක්‍රීඩාංගණය – තර්ස්ටන් විද්‍යාලය 
  • කාසියේ වාසිය – රත්නාවලී බාලිකා විද්‍යාලය 

රත්නාවලී බාලිකා විද්‍යාලය – සියලුම දෙනා දැවී 77 (47.5) හසිනි විජේසිංහ 10, ඉමායා පෙරේරා නොදැවී 10, ෂෙහාරා ඉඳුවරී 2/15, හිරුණිකා නිවර්ථනී 3/05, හිරුණි හංසිකා 2/04 

දේවපතිරාජ විද්‍යාලය – කඩුලු 6ක් දැවී 81 (23.4) සංජනා කාවින්දි 24, ශෂිනි ගිම්හානි 12, උමායා රත්නායක 4/29 

දේවපතිරාජ විද්‍යාලයට කඩුලු 4ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<