රන් සිංහ සටනේ වාර්තාගත කඩුලු දඩයක්කරු “චමිඳු”

415

වාර්ෂික මහා ක්‍රිකට් තරගයක දී යම් ක්‍රීඩකයෙක්ට වාර්තා පොත් නැවත ලිවීමට සැලැස්විය හැකි වී නම් එය මහත් භාග්‍යයකි. මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවති 7 වැනි රන් සිංහ සටනේ දී ඒ සුවිශේෂී අවස්ථාව උදා කර ගැනීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ චමිඳු ලක්ෂිත සමරසිංහට හැකි විය. මේ ඒ වෙනුවෙන් ThePapare.com තබන සටහනකි.

රන් සිංහ සටන ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී චමිඳුගෙන් වාර්තාවක්

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවති රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (31) මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වූයේ දෙපිළේම…

“වාර්තාවකට යනවා කියන හැඟීම මොනම වෙලාවකදීවත් ආවෙ නැහැ. අනිත් එක මම තරගයට සහභාගී වුණේ ඉතා හොඳින් ක්‍රීඩා කරනවා කියන හැඟීමෙන්. ඒ බලාපොරොත්තුව විතරයි තිබුණේ. නමුත් කඩුලු එකින් එක ලැබෙද්දි ලොකු සතුටක් දැනුණා. රාහුල ටීම් එක ඕල් අවුට් වෙලා අපි ආවහම තමයි දන්නේ මගේ පන්දු යැවීම බිග් මැච් රෙකෝඩ් එකක් කියලා.” චමිඳු නිමා වූ රන් සිංහ ගැටුමේ තම වාර්තාගත ඉනිම සිහිපත් කළේය.

වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී චමිඳුගේ පන්දු යැවීම වාර්තා වූයේ 32-10-57-8ක් ලෙසිනි. වමතින් පා දඟපන්දු යවන චමිඳු කණ්ඩායමේ උප නායකයා ලෙසින් ද වැඩි වගකීමක් සහිතව පිටියට පිවිසියෙකි.  

“අපිට අවශ්‍ය වුණේ ප්‍රතිවාදීන්ට වැඩි ලකුණු ප්‍රමාණයකට යෑමට නොදී පාලනය කර ගැනීමයි. ඒ නිසා අපි උපරිමයෙන් කළා. පන්දු යැවීමේ දී වුනත් වැඩි වශයෙන් උත්සාහ කළේ ඩොට් බෝල යවන්න. මේ උත්සාහය නිසා අපි ඔවුන්ව පාලනය කළා විතරක් නෙවේ, මට වැඩි කඩුලු ප්‍රමාණයකට යන්න පුළුවන් වුනා.”

චමිඳු මෙවර රන් සිංහ ගැටුම වෙනුවෙන් සහභාගී වූයේ තෙවැනි වසරට ය. 2016 වසරේ දී පළමු වරට වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වන චමිඳු එම වසරේ දී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වෙන්නේය.

“ඒ මම සාමාන්‍ය පෙළ විභාගය ලියූ අවුරුද්ද. ඒ නිසා පාසල් ක්‍රිකට් වාරයේ තරගවලට සහභාගී වුණේ නැහැ. සහභාගී වූ එකම තරගය බිග් මැච් එක.” චමිඳු සිහිපත් කළේය.

අනතුරුව එළඹි වසර චමිඳුගේ දක්ෂතා වෙනුවෙන්ම සැකසූ තෝතැන්නක් විය. එම වසරේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී චමිඳු කඩුලු 49ක් සහ ලකුණු 400 සීමා වේ සිටිමින් වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වන්නේය.

“බිග් මැච් ඉතිහාසයේ පළමු වරට මගේ දක්ෂතා ඇගයෙන්නේ එම වසරේ දී. මට එම වසරේ දී හැකි වෙනවා තරගයේ වීරයා සම්මානය දිනා ගන්න. ඇත්තටම ඒක මගේ ක්‍රිකට් දිවියේ විශේෂ අවස්ථාවක්.”

චමිඳු මෙවර පැවති වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වීමට ප්‍රථමයෙන් පැවති වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී කඩුලු 64ක් ලබා සිටියේය. පිතිකරුවෙක් ලෙසින් සුපුරුදු ලෙසින්ම ලකුණු 400 සිටියේය.

“ප්‍රධාන පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට එකතු වුනත් පිතිකරුවෙක් ලෙසින් ද යම් වගකීමක් මා වෙත පැවරී තිබුණා. ඒ වුනත් බොහෝ දෙනෙක් මගෙන් බලාපොරොත්තු වුණේ ඉතා හොඳින් පන්දු යවමින් ප්‍රතිවාදීන් පාලනය කිරීමයි. ඒක බොහෝ තරගවල දී මට කරන්න හැකි වුනා. ඒ පුහුණුව වඩාත් හොඳින් එළිදක්වන්න ලැබුණේ බිග් මැච් එකේ දී. මගේ පෞද්ගලික දක්ෂතාව ගැන මම සෑහීමකට පත් වෙනවා වගේම මේ වෙනුවෙන් දායකත්වය දැක්වූ කණ්ඩායමේ සියලුම දෙනාගේ සහයෝගය ඉතාමත් අගේ කරනවා. ඒ වගේම මේ වෙනුවෙන් පිටියෙන් පිටත සිට සහයෝගය දැක්වූ සෑම දෙනාමත් මේ අවස්ථාවේ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.” චමිඳු පැවැසුවේ ය.

චමිඳුගේ පන්දු යැවීමෙන් රුහුණු මායා එක්දින සටන වර්ණවත් වේ

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවැත්වූ තෙවැනි රන් සිංහයින්ගේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (01) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කඩුලු…

දෙදින තරගයෙන් අනතුරුව පැවති වාර්ෂික සීමිත පන්දුවාර තරගයේ දී ද චමිඳුගේ දක්ෂතා ඉහළ අගයක් ගන්නේ ය. ඒ අනුව පැවති සම්මාන ප්‍රදානෝත්සවයේ දී චමිඳු තරගයේ වීරයා ලෙසින් නම් වෙන්නේ ය.

“ඇත්තටම ඒක මම ලැබූ විශාල ජයග්‍රහණයක්. පසුගිය වසරේ බිග් මැච් එකේ දී තරගයේ වීරයා වුන මට මෙවර වාර්ෂික එක්දින තරගයේ දී තරගයේ වීරයා වෙන්න අවස්ථාව හිමි වෙනවා. තරග දෙකේ දී ම මා විසින් අපේ පාසලට, කණ්ඩායමට කළ සේවයට දැක්වූ උපහාරයක් ලෙසයි මම මේ ඇගයීම දකින්නේ. මේ කුසලාන මට ඊළඟ වසරට වටිනා ආයෝජනයක්. ලබන වසරේ දී මේ සම්මාන ද්විත්වය මේ ලෙසින් ආරක්ෂා කර ගන්න මම උත්සාහ කරනවා.” චමිඳු පවසන්නේ මහත් අභිමානයෙනි.

චමිඳුගේ ක්‍රිකට් දිවිය ආරම්භ වෙන්නේ ඇහැලියගොඩ සීතාවක ජාතික පාසලෙනි. ඒ වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා සමඟිනි. එකල ඔහුගේ පුහුණුකරු වන්නේ සංජය වීරසිංහ මහතා ය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ උනන්දුව ඔහුව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු කළේය. මේ වෙනුවෙන් දෙමාපියන් දැක්වූයේ ද ඉමහත් කැමැත්තකි.

කෙසේ වෙතත් වයස අවුරුදු 15න් පහළ වෙද්දී චමිඳුගේ පාසල වෙනස් වෙන්නේ ය.

“වැඩි දුර අධ්‍යාපනය ලැබීමත්, ක්‍රිකට් ක්‍රීඩාවත් නිසයි මම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එන්නේ. ඒ දවස්වල පුදුම විදිහේ දුෂ්කරතාවලට මුහුණ දුන්නේ. පාසලට යෑමත් ඒමත් තමයි ගොඩක් වෙලාවට දුෂ්කර වුණේ. අන්තිමට අපි අපේ පදිංචිය වෙනස් කළා. අම්ම තාත්තා රජයේ සේවයේ මාරුවීම් අරගෙන පන්නිපිටිය කිට්ටුවට ආවා. දැන් අපේ ගම වෙලා තියෙන්නේ මෙහේම තමයි.“ චමිඳු පවසන්නේ තමන්ගේ අතීතය පිළිබඳව ය.

පන්නිපිටියේ දී චමිඳුගේ ක්‍රිකට් දිවියේ පෝෂණකරු වෙන්නේ සංජය දේවපුර මහතා ය. වයස අවුරුදු 15න් පහළ පළමු වසරේ සිට මේ දක්වාම චමිල්ගේ පුහුණුකරු වෙන්නේ ඔහු ය.

“සංජය සර් තමයි මගේ ක්‍රිකට් දිවිය නිර්මාණය කළේ. පන්දු යවන්නෙක් ලෙසින් ගෙනා දක්ෂතා හරියටම තෝරා බේරාගෙන මාව මේ තත්ත්වයට ගෙනාවේ ඔහු. ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිවන්ත විය යුතුයි. තව දුරටත් ඔහු යටතේ සිටිමින් එළඹෙන මහා ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම දක්වා යෑමයි මගේ පළමු බලාපොරොත්තුව.” චමිඳු පවසන්නේ ය.

රුහුණු – මායා රන් සිංහයෝ මාතර දී සටනට පිවිසෙති

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය…

2019 වසරේ දී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ චමිඳු වෙත ය. ඒ ගමනේ දී වඩාත් හොඳ ම දේ කිරීමටය චමිඳුගේ බලාපොරොත්තුව. ඒ සඳහා කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ගේ සහයෝගය බලාපොරොත්තු වන චමිඳු මේ වෙනුවෙන් වන ගමනේ දී ඔවුන්ගේ වැඩි දායකත්වය සේ ම කැපවීම ද බලාපොරොත්තු වේ.

“අපි කණ්ඩායමක් ලෙසින් ඉතා හොඳ මට්ටමක ඉන්නවා. මම විශ්වාස කරනවා මේ තත්ත්වය අපිට ලබන අවුරුද්දේදීත් පවත්වා ගෙන යන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි මේ සිටින තැනින් ඉහළට පැමිණිය යුතුයි. ඒක අපිටත් වඩා අපේ පාසල අපෙන් බලාපොරොත්තු වෙන දේ. අපි වෙනුවෙන් විද්‍යාලයීය විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන්, ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් වගේම අපේ කණ්ඩායම්වල ඉන්න දෙමාපියන් ද ඒ බලාපොරොත්තුවේ සිටිනවා කියලයි මගේ විශ්වාසය. ඉතිං ඒ විශ්වාසය අනුව කටයුතු කිරීම අපේ යුතුකමක් ලෙසයි මම දකින්නේ.”

මේ ගමනේ දී උදව් කරන සෑම කෙනෙක්ම ඉතා ගෞරවයෙන් සිහිපත් කරන චමිඳු, විශේෂයෙන්ම තමන් මේ දක්වා පැමිණි ගමනේ දී උදව් කළ සියලුම පුහුණකරුවන් ද විද්‍යාලයීය විදුහල්පතිතුමා සහ ක්‍රිකට් භාර ආචාර්යවරුන් ද සිහිපත් කරයි.

එමෙන්ම තමන්ගේ ක්‍රිකට් දිවියට නිරන්තරයෙන් ආශීර්වාද කරමින් ඔහුත් සමඟින් වෙහෙසෙන මවත්, පියාත් සහ තම සහෝදරිය ද ඔහු ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි. “මට ක්‍රිකට් ක්‍රීඩාව මේ තරමින් කරගෙන යන්න ගෙදරින් ලැබෙන සහයෝගය ඉතා විශේෂයි. මේ නිදහස නොලැබුණා නම් මට මේ තරම් ගමනක් එන්න වෙන්නේ නැහැ. මගේ අතපසු වෙන අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔවුන් විශේෂ සොයා බැලීමක් කරමින් ඒ අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව මම අනාගතයේ දී හොඳ ක්‍රිකට් එකකුත් ගහන ගමන් අධ්‍යාපනයෙන් ද ඉහළ මට්ටමට යනවා දැකීමයි. මගේ බලාපොරොත්තුව ද ඒකමයි.“

චමිඳුගේ එම බලාපොරොත්තුව එලෙසින් ම ඉටුවේවායි ThePapare.com ආශීර්වාද කරමු.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<