ශෙනන්ට කඩුලු ත්‍රිත්වයක්: ජය තර්ස්ටන් විද්‍යාලයට

U 19 Division 1 Tier A Inter-Schools Limited Overs Tournament

405

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier B කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොළඹ 7, තර්ස්ටන් විද්‍යාලය අද (20) සමත් වුනා.

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයයි.

තර්ස්ටන් විද්‍යාලය: විහස් තෙව්මික (නායක), ඩිනල් ඉඳුවර, නවිඳු ප්‍රනාන්දු, තනුජ රාජපක්ෂ, ශානික්‍ය දේශප්‍රිය (කඩුලු රකින්නා) තනුග පලිහවඩන, මුලිත ද කොස්තා, සෙත්රු ප්‍රනාන්දු, යොවුන් සිල්ප, විශ්ව ධනංජය, ටලිෂ නානායක්කාර.

සාන්ත පීතර විද්‍යාලය: විශේන් හැළඹගේ (නායක), ඔවීන් සල්ගාදු, සවි ප්‍රනාන්දු, රුසඳ ගමගේ, ශෙනන් රොද්‍රිගෝ, නේතන් ඩේවිඩ් (කඩුලු රකින්නා) ඩිලන දම්සර, ලශ්මික පෙරේරා, ඉෂිර අයුපාල, විරුල් අමරපාල, රිතිල් සුරවීර.

දෙවිදුහල් අතර පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 148ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ හඹායන ඉනිමේ දී ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 127ක් පමණයි. ඒ අනුව ලකුණු 11ක ජයග්‍රහණයක් තර්ස්ටන් ක්‍රීඩකයෝ සතු වූවා.

තර්ස්ටන් විද්‍යාලයීය ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක නොවූව ද තෙවැනි කඩුල්ලේ දී ලකුණු 79ක සබඳතාවක් එක් කිරීමට තනුජ රාපක්ෂ සහ ශානික්‍ය දේශප්‍රිය සමත් වූවා. ඒ අතුරින් තනුජ රාජපක්ෂ පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිමින් තරගයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූවා.

ශානික්‍ය දේශප්‍රිය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29ක්. ඊට පන්දු 51ක් වැය ව තිබූ අතර හතරේ පහරක් ද ඊට ඇතුලත් වුනා.

ශානික්‍ය ගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ පන්දු 2 දී තනුග පළිහවඩන සහ මුලිත ද කොස්තා ද දවා ගනිමින් තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශෙනන් රොද්‍රිගෝ සමත් වූවා.

ඔහු එලෙස තර්ස්ටන් විද්‍යාලය පාලනය කළත් අවසන් පිතිකරුට පෙර පිතිකරු ලෙසින් පිටියට පිවිසි විශ්ව ධනංජය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගනිමින් නැවත තර්ස්ටන් ඉනිම තරමක් සවිමත් කළා.

ඊට අමතර ව නායක විහස් තෙව්මික ද පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.

කඩුලු බිඳ හෙළීමේ දී ශෙනන් රොද්‍රිගෝ ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත් අතර විශේන් හැළඹගේ ලකුණු 47කට කඩුලු 3ක් ද දවා ගත්තා. ඊට අමතර ව ලශ්මික පෙරේරා කඩුලු 2ක් සහ ඉෂිර ආයුපාල කඩුල්ලක් ද දවා ගත්තා.

සාන්ත පීතරයන්ගේ පිළිතුරු ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය පළමු පන්දුවාර 15 තුළ නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යෑවීමට තර්ස්ටන් පන්දු යවන්නෝ සමත් වූවා. ඒ වෙද්දී ලකුණු පුවරුව රැදී තිබුණේ ලකුණු 45ක් ලෙසයි. දැවී ගිය පිතිකරුවන් අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරන විශේන් හැළඹගේ සහ රුසඳ ගමගේ ද වූවා.

ඔවුන් පිටිය හැර යෑමෙන් අනතුරුව තරගයේ පාලනය සියතට ගැනීමට ශෙනන් රොද්‍රිගෝ සමත් වූවා. පන්දු යවන්නෙක් ලෙසින් නොව පිතිකරුවෙක් ලෙසින් ද තම වගකීම් මනාව ඉටු කළ ශෙනන් රොද්‍රිගෝ පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් රැස් කළා.

නමුත් එම දක්ෂතාව පමණක් ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු 2ක් තුළ කඩුලු 3ක් බිඳ හෙළූ තර්ස්ටන් ක්‍රීඩකයෝ තරගයේ පාලනය නැවත සියතට ගත්තා. ඒ අනුව සාන්ත පීතර විද්‍යාලයීය ඉනිම අවසන් වීමට තවත් පන්දු 15ක් තිබිය දී ඔවුන්ගේ හඹා යෑමේ ඉනිම අවසන් කිරීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූවා.

කඩුලු බිඳ දැමීමේ දී වමතින් දඟ පන්දු යැවූ තනුග පලිහවඩන සහ සෙත්රු ප්‍රනාන්දු කඩුලු 3ක් බැගින් බෙදා ගනිද්දී, විහස් තෙව්මික, යොවුන් සිල්ප සහ ටලීෂ නානායක්කා කඩුල්ල බැගින් බෙදා ගත්තා.

  • 2 වැනි අර්ධ අවසන් තරගය, පනාගොඩ, නොවැම්බර් 20, 2023, U19 Division 1 Tier B Inter-Schools Limited Overs Tournament

o ක්‍රීඩාංගණය – යුද හමුදා ක්‍රීඩාංගණය, පනාගොඩ

o කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලය – සියලුම දෙනා දැවී 148 (38) තනුජ රාජපක්ෂ 50, ශානික්‍ය දේශප්‍රිය 29, විශ්ව ධනංජය නොදැවී 24, විශේන් හැළඹගේ 3/47, ශෙනන් රොද්‍රිගෝ 4/33, ලෂ්මික පෙරේරා 2/20

සාන්ත පීතර විද්‍යාලය – සියලුම දෙනා දැවී 137 (47.3) සවි ප්‍රනාන්දු 18, ශෙනන් රොද්‍රිගෝ 40, තනුග පළිහවඩන 3/24, සෙත්රු ප්‍රනාන්දු 3/26

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 11ක ජයක්.

Tier B කොටසේ පළමු අවසන් පූර්ව තරගයේ දී ලුම්බිණි විද්‍යාලය ජයග්‍රහණය කරන ලද අතර ඔවුන් සමඟින් තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන අවසන් මහා තරගය ඉදිරියේ දී පැවැත්විමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<