Galle Gladiators නායකත්වය සුපිරි පාකිස්තානු ක්‍රීඩකයෙකුට

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

363
Afridi & Bhanuka will lead

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ Galle Gladiators කණ්ඩායමේ නායකත්වයට පාකිස්තාන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shahid Afridi පත් කර තිබේ. කණ්ඩායමේ උපනායකයා ලෙස භානුක රාජපක්ෂ පත් කර තිබේ.

Galle Gladiators කණ්ඩායමේ නායකත්වය සඳහා මීට පෙර ලසිත් මාලිංග නම් කර තිබූ අතර ඔහු තරගාවලියෙන් ඉවත් වීමත් සමඟින් එහි නායකත්වය හිස්ව පැවතිනි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග නම් කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබුණි. කෙසේ වෙතත් තම ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ඇති ගැටලුවක් නිසා ලසිත් මාලිංග මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වන බව පසුගිය දා නිල වශයෙන් නිවේදනය කර තිබුණි.

ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන සුපිරි ක්‍රීඩක Shahid Afridi එම කණ්ඩායමේ නායකත්වයකට පත්කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නවක ක්‍රීඩකයෙකු වුවද භානුක රාජපක්ෂ සිය දක්ශතාවයන් ලොව පුරා පැවති ලීග් තරගාවලිවල දී මනාව පෙන්වීමට සමත් විය. කණ්ඩායමේ උපනායකයා ලෙස භානුක රාජපක්ෂ තරගාවලියේ පළමු තරග කීපය සඳහා කණ්ඩායම මෙහෙයවීමට නියමිතය. ඒ Shahid Afridi මුල් තරග කීපය සඳහා සහභාගී නොවීම හේතුවෙනි.

තවත් ක්‍රිකට් පුවත්:

පාකිස්තාන සුපිරි ක්‍රීඩක Shahid Afridiගේ දියණියගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙරටට පැමිණීමට ප්‍රමාද වන බව නිල වශයෙන් දන්වා ඇත. ඒ අනුව ඔහු එළඹෙන නොවැම්බර් මස 23 වැනිදා මෙරටට පැමිණීමට සූදානමින් සිටින අතර එහි දී ඔහු ස්වයං නිරෝධායනයට ලක්වීමට නියමිතය. ඒ අනුව ඔහුට තරගාවලියේ මුල් තරග කීපය මඟහැරෙනු ඇත. 

කෙසේ වෙතත් ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත් වීමත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක නායකත්වයට පත්වනු ඇතැයි මාධ්‍ය කීපයක් වාර්තා කළ නමුත් කණ්ඩායමේ හිමිකරුවන් සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් Shahid Afridi නායකත්වය සඳහා නම් කළ බව සඳහන් කර තිබේ.

මේ අතර Galle Gladiators කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු පාකිස්තාන ක්‍රීඩක Moin Khan කටයුතු කරන බව ද කණ්ඩායමේ හිමිකරුවන් විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. 

Moin Khan සහ Galle Gladiators කණ්ඩායමේ සෙසු විදෙස් ක්‍රීඩකයන් පසුගිය 19 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි අතර ඔවුන් සහ සෙසු ක්‍රීඩකයන් 17 දෙනෙකු මේ වන විට හම්බන්තොට Shangri-La හෝටලයේ නිරෝධායනයට ලක්වෙමින් සිටී. 

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් වසර 10ක් පුරා බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.

මෙවර තරගාවලිය පිළිබඳව සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<