පාපන්දු ලෝකයට බලපෑම් කරන රුසියානු-යුක්‍රේන අර්බුදය

197
Champions League final moved to Paris

රුසියාව විසින් අසල්වැසි යුක්‍රේනය ආක්‍රමණය කිරීම ක්‍රීඩා ලෝකය තුළ ද මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.

මෙම සිදුවීමෙන් අනතුරුව මැයි 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ Champions League පාපන්දු තරගාවලියේ අවසන් තරගය St. Petersburg නුවර සිට ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගෙන යාමට UEFA පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව Champions League පාපන්දු තරගාවලියේ අවසන් තරගය එළඹෙන මැයි 28 වැනිදා ප්‍රංශයේ Stade de France හිදී පැවැත්වීමට නියමිතයි. මීට අමතරව UEFA තරගාවලියට සහභාගී වන රුසියානු සහ යුක්‍රේන ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්ඩායම් මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමට කැමැත්ත පලකර තිබෙනවා. මේ බව UEFA විසින් නිල වශයෙන් නිවේදනය කර තිබුණා.

මේ අතර රුසියානු රාජ්‍ය ගුවන් සේවය වන Aeroflot සමාගම සමඟ පැවති වාණිජ හවුල්කාරිත්වය අවසන් කිරීමට Manchester United කණ්ඩායම තීරණය කර තිබෙනවා.

රුසියානු යුක්‍රේන අර්බුදය හමුවේ UEFA විධායක කමිටුව අද (25) හදිසි රැස්වීමක් කැඳවා තිබුණා. එහි දී ඔවුන් මෙම අර්බුදය සහ Champions League පාපන්දු තරගාවලියේ අවසන් තරගය රුසියානු ජනාධිපති Vladimir Putinගේ උපන් නගරයේ පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කර තිබුණා.

මීට පෙර එම තරගය 68,000 ධාරිතාවකින් යුත් St. Petersburg හි Gazprom Arena ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා. දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව එම තරගය ප්‍රංශයේ පැරිස් නුවර Stade de France ක්‍රීඩාංගණය වෙත ගෙන යාමට ඔවුන් තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් UEFA ගත් මෙම තීරණයෙන් අනතුරුව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක Dmitry Peskov එම තීරණය ලැජ්ජා සහගත තීරණයක් බව පවසා තිබෙනවා.

මෙම පාපන්දු තරගය පවත්වන්න St. Petersburg හි Gazprom Arena ක්‍රීඩාංගණයට හොඳ අවස්ථාවක් තිබුණා. ඒකට හිතකර කොන්දේසි සියල්ල තිබුණා”, ඔහු පවසා සිටියා.

මේ අතර යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් Manchester United රුසියානු රාජ්‍ය ගුවන් සේවය වන Aeroflot සමඟ ඇති වාණිජ හවුල්කාරිත්වය අත්හැරීමට තීරණය කිරීම ද බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා.

එවන් වටපිටාවක් තුළ රුසියානු රජය සතු බලශක්ති සමාගමක් සහ UEFA හි ප්‍රධාන අනුග්‍රාහක සමාගමක් වන Gazprom සමඟ ඇති සබඳතා කපා හැරීමට යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලයට පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

රුසියානු – යුක්‍රේන අර්බුදය හේතුවෙන් රුසියානු සහ යුක්‍රේන ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්ඩායම් නැවත දැනුම් දෙන තුරු ඔවුන්ගේ රටේ ක්‍රීඩා නොකර මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට අවශ්‍ය වන බව UEFA හි විධායක කමිටුව නිවේදනය කර තිබෙනවා.

මෙම තීරණය පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කළ ක්‍රීඩා කාණ්ඩ කිරීමේ දී එකම කාණ්ඩයට අයත් වන RB Leipzig සහ Europa League හි Spartak Moscow කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරනවා.

ඊට අමතරව එළඹෙන ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිත 2022-23 Nations League තරගාවලිය සඳහා සහභාගී වන රුසියානු සහ යුක්‍රේන ජාතික කණ්ඩායම් සඳහා ද බලපානු ඇති.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<