වර්ෂාවට පෙර පානදුර ජය ලබයි

SLC Major Club T20 Tournament 2022

452

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැත්වීමට නියමිතව තිබූ තරග 6න් 5කට ම අයහපත් කාලගුණ තත්ත්වය බාධා වීම හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූවා.

මීට පෙර මෙම තරගාවලියේ ම 6 වැනි දිනයේ ද වර්ෂාව හේතුවෙන් තරග 5ක් පැවැත්වූවේ නැහැ. අද ක්‍රියාත්මක වූයේ තරගාවලියේ 8 වැනි දිනයයි.

පැවති එකම තරගය වූ Panadura SC සහ Nugegoda SWC අතර තරගය ද පන්දුවාර 11කට සීමා වූ අතර ඉන් ජයග්‍රහණය කිරීමට Panadura SC ක්‍රීඩකයෝ සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Nugegoda SWC නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Panadura SC ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 90ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Nugegoda SWC ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 65ක් පමණයි.

Panadura කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලක්ෂාන් රොද්‍රිගෝ පිතිකරුවෙක් ලෙසත්, රොෂාන් විජේනායක සහ තරිඳු කෞෂාල් පන්දු යවන්නන් ලෙසත් දක්ෂතා දැක්වූවා.

විසඳුමක් නොවූ තරග 5න් තරග 3ක් සම්පූර්ණයෙන් ඉවත දැමුණ අතර තරග දෙකක දී කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව නතර කෙරුණා. මේ කිසිදු තරගයක එකඳු හෝ පන්දුවක් යැවුණේ නැත.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Colts CC සහ Kandy Custums CC අතර තරගයත්, BRC සහ Chilaw Marions CC අතර තරගයත් මෙන් ම, මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ NCC සහ Ragama CC අතර තරගයත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් ම අතහැර දැමීමට සිදු වූවා.

මේ අතර Colts ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Police SC සහ Sebastianites C & AC අතර තරගයත් සහ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ Negombo CC සහ Tamil Union C & AC අතර තරගයත් කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව පැවති වර්ෂාව හේතුවෙන් නතර කරන්නට සිදු වූවා.

Panadura SC සහ Nugegoda SWC අතර තරගය (Colts ක්‍රීඩා පිටියේ දී)

Panadura SC – කඩුලු 8ක් දැවී 90 (11) ලක්ෂාන් රොද්‍රිගෝ 29, චමින්ද බණ්ඩාර 2/20, සහන් නානායක්කාර 2/11

Nugegoda SWC – කඩුලු 8ක් දැවී 65 (11) රනිත ලියනාරච්චි 22, රොෂාන් විජේනායක 3/09, තරිඳු කෞෂාල් 2/11

Panadura SC කණ්ඩායමට ලකුණු 25ක ජයග්‍රහණයක්

හෙට (30) තරගාවලියේ 9 වැනි දිනයයි. දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ අලුත් ම තතු විත්ති දැන ගන්න රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<