නවකයින්ගේ දිනයකදී වනිඳු, මිලන්ත සහ මිනෝද් තරග දිනවා දෙයි

1734

දේශීය ක්‍රිකට් පිටියේ සැඟවුණු තරු සොයා යාමට දිරිදෙන 25 වැනි සිංගර් වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 5ක් අද (17) ක්‍රියාත්මක විය. එහි දී ප්‍රතිවාදීන් පරාජය කරමින් ජයග්‍රහණ වාර්තා කර ගත්තේ MAS යුනිචෙලා, ටීජේ ලංකා, ජෝන් කීල්ස්, LB ෆිනෑන්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන කණ්ඩායම් 5යි.

අද දිනයේ පිත්තෙන් සුපිරි දක්ෂතා දක්වමින් තම කණ්ඩායම් ජයග්‍රහණය කරවීමට තවමත් යොවුන් වියේ පසුවන නවක ක්‍රීඩකයින් රැසක් වන වනිඳු හසරංග, ලහිරු මිලන්ත, මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් සමත් වෙද්දී ඉෂාර අමරසිංහ, ජෙෆ්රි වැන්ඩර්සේ වැනි පන්දු යවන්නන් ප්‍රතිවාදී කණ්ඩායම් තම හැකියාවෙන් අසරණ කර දැමීමට කටයුතු කළහ.

ධනංජයගේ ශතකය ඵල රහිත වෙද්දී වර්ණපුරගෙන් සටන්කාමී ඉනිමක්!

ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ ක්‍රීඩා තරු සහ දේශීය ක්‍රිකට් පිටියේ පෙරළිකාරයින් උරෙනුර ගැටෙන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය…

MAS යුනිචෙලා සහ ඩිමෝ කණ්ඩායම අතර තරගය

කොළඹ MCA පිටියේ දී පැවති මෙම තරගය MAS යුනිචෙලා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 41කිනි. කාසියේ වාසිය දිනාගත් MAS යුනිචෙලා කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.

උදෑසන කාලයේ වැටුණු වර්ෂාව නිසා තරගය පන්දුවාර 47කට අඩු කරමින් අද තරගය ආරම්භ විය. ඒ අතරතුර දී සාර්ථක ලෙස පිත්ත හැසිරවූ යුනිචෙලා ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 269ක් රැස්කර ගත්හ. එහි දී තුන් ඉරියව් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ලකුණු 62ක් සහ තිලක්ෂ සුමනසිරි නොදැවී ලකුණු 59ක් රැස් කරමින් ඉනිම ගොඩ නැගීමට ආධාර වූහ. ශ්‍රී ලංකා පිළේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ලකුණු 49යි.

‍යුනිචෙලා ඉනිමෙන් අනතුරුව තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා ඩිමෝ ඉනිම පන්දුවාර 27ක් දක්වා කප්පාදු කරමින් නැවතත් තරගය ආරම්භ විය. එහි දී ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 203කි. නමුත් ඩිමෝ පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 161කට දවා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අද MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය. එහි දී කලකට පසු නැවතත් දක්ෂතා අතරට පිවිසි දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාර අමරසිංහ කඩුලු 4ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය.

MAS යුනිචෙලා – කඩුලු 5ක් දැවී ලකුණු 269 (පන්දුවාර 47): රමිත් රඹුක්වැල්ල 62, තිලක්ෂ සුමනසිරි 59*,, තිලකරත්න ඩිල්ශාන් 49, ටී.එන්. සම්පත් 28, චතුරංග ද සිල්වා 28*, රමේෂ් මෙන්ඩිස් 3/42.

ඩිමෝ – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 24.4): නිපුන් කරුණානායක 45, රමේෂ් මෙන්ඩිස් 34, හෂාන් දුමිඳු 22, තික්ෂිල ද සිල්වා 21, ඉෂාර අමරසිංහ 4/35, දිල්රුවන් පෙරේරා 2/32, ශෙහාන් මදුශංක 2/26.


ටීජේ ලංකා සමාගම සහ කැන්රිච් ෆිනෑන්ස් සමාගම අතර තරගය

අඩු ලකුණු තරගයක් ලෙසින් මෙම තරගය ක්‍රියාත්මක වූයේ කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දීයි. එහි දී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට තවත් බියකරු පරාජයක් උරුම කර දෙමින් ජයග්‍රහණය වාර්තා කර ගත්තේ ටීජේ ලංකා සමාගමයි.

image2කාසියේ වාසිය දිනාගෙන තරගයේ මුලින් පන්දුවට පහර දුන් කැන්රිච් පිතිකරුවන් ලකුණු 148කට දැවී ගියේ ජයග්‍රහණයක් පිළිබඳ තබා තිබූ සියලු බලාපොරොත්තු සුන්කර ගනිමිනි. එහි දී නැවතත් දේශීය පිටියට පිවිස සිටින දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 26ට කඩුලු 5ක් දවා ගනිමින් සුපිරි දක්ෂතා දැක්වීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 149ක ඉතාමත් පහසු ඉලක්කයක් හිමි වූ ටීජේ ලංකා සමාගම පන්දුවාර 33යි එක් පන්දුවක් තුල දී ජය තහවුරු කර ගත්හ. ඒ කඩුලු 4ක් පමණක් දැවී තිබිය දීයි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ වමත් පිතිකරු මිනෝද් භානුක නොදැවී ලකුණු 60ක් රැස්කර ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර කළේය. කැන්රිච් ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් අලංකාර අසංක කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

කැන්රිච් ෆිනෑන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 49.2): කසුන් විදුර 44, ජෙෆ්රි වැන්ඩර්සේ 5/26.

ටීජේ ලංකා සමාගම – කඩුලු 4ක් දැවී ලකුණු 151 (පන්දුවාර 33.1): මිනෝද් භානුක 60*, අලංකාර අසංක 2/36.


සම්පත් බැංකුව සහ ජෝන් කීල්ස් අතර තරගය

පසුගිය දිනවල දී පිට පිටම ජයග්‍රහණය වාර්තා කරමින් සිටි සම්පත් බැංකුවේ ජය ගමන නිමා කිරීමට අද ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය. ඒ කඩුලු 6ක් පමණක් වැය කරමින් සම්පත් බැංකු ලකුණු පුවරුව හඹා යමිනි.

image1 (1)කාසියේ වාසිය දිනාගෙන මුලින් පිතිකරණයේ යෙදීම තෝරාගත් සම්පත් බැංකු පිතිකරුවන් ලකුණු 198කට සීමා වීම ඔවුන්ට දැවැන්තම අවාසිය බවට පත්විය. සම්පත් ඉනිමේ අග කොටසේ දී ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා තරගය අතරමග අත්හිටුවා පසුව ජෝන් කීල්ස් කණ්ඩායමට පන්දුවාර 25ක දී ලකුණු 155ක ඉලක්කයක් ලබා දීමට තරග තීරකයින් පියවර ගත්හ.

ඒ අනුව අදාළ ඉලක්කය ඉතාමත් සාර්ථක ලෙසින් හඹා ගිය ජෝන් කීල්ස් පිතිකරුවන් වේගවත් ඉලක්කයක යෙදෙමින් ඉනිම නිමාවීමට පන්දුවාර 4ක් ඉතිරිව තිබිය දී ජය තහවුරු කර ගැනීමට සමත් වූහ. ඒ කඩුලු 6ක් පමණක් දැවී තිබිය දීයි. දක්ෂ පිතිකරණයක යෙදුණු වමත් කඩුලු රකින පිතිකරු ලහිරු මිලන්ත ලකුණු 86ක් රැස්කර ගනිද්දී ජීවන් මෙන්ඩිස් අදත් කඩුලු 3ක් දවා ගත්තේය. තරගය පැවැත්වුනේ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දීයි.

සම්පත් බැංකුව – කඩුලු 7ක් දැවී ලකුණු 198 (පන්දුවාර 46.2): කෞෂාල් සිල්වා 63, අවිශ්ක ප්‍රනාන්දු 39, හසන්ත ප්‍රනාන්දු 32*, චාමිකර එදිරිසිංහ 2/32, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 3/45.

ජෝන් කීල්ස් (A) – කඩුලු 6ක් දැවී ලකුණු 156/6 (පන්දුවාර 21): ලහිරු මිලන්ත 86, ජීවන් මෙන්ඩිස් 3/35.


LB ෆිනෑන්ස් සහ හේලීස් සමාගම අතර තරගය

ප්‍රතිවාදී හේලීස් සමාගම පරදවා, LB ෆිනෑන්ස් කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කළ මෙම තරගය ක්‍රියාත්මක වූයේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දීයි.

කාසියේ වාසිය දිනාගත් LB ෆිනෑන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හේලීස් සමාගමට ලබා දීමත් සමඟ ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 206ක් රැස් කිරීමට සමත් වූහ. එහි දී ඉතාමත් සාර්ථක අයුරින් පිත්ත හැසිරවූ සචිත්‍ර සේරසිංහ ලකුණු 89ක් රැස් කළ ද, ඔහුට අනෙක් පිතිකරුවන්ගේ සහය අල්ප විය. පන්දු යැවීමේ දී ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේය.

පසුව මෙම තරගය පන්දුවාර 25කට අඩු කෙරුණු අතර ප්‍රතිවාදී LB ෆිනෑන්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 141ක ඉලක්කයක් හිමි විය. එය සාර්ථකව හඹාගිය LB ෆිනෑන්ස් කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 5ක් තුල දී කඩුලු 5ක ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. එහි දී අනර්ඝ පිතිකරණයක යෙදුණු ශෙහාන් ජයසූරිය අර්ධ ශතකයක් රැස් කරගත් අතර පරාජිත හේලීස් කණ්ඩායම වෙනුවෙන් අලි කාන් සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

හේලීස් සමාගම (A) – සියල්ලන්ම දැවී ලකුණු 206 (පන්දුවාර 48.4): සචිත්‍ර සේරසිංහ 89, ඇන්ඩි සොලමන් 34, ශිරාන් ප්‍රනාන්දු 4/51, රජීව වීරසිංහ 2/26

LB ෆිනෑන්ස් (A) – කඩුලු 5ක් දැවී ලකුණු 141 (පන්දුවාර 21.5): ශෙහාන් ජයසූරිය 54, අලි කාන් 2/23, ලසිත් ඇඹුල්දෙනිය 2/21.


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ හැටන් නැෂනල් බැංකුව අතර තරගය

ශ්‍රී ලංකාවේ මුල්පෙළේ මූල්‍ය සමාගම් දෙකක් අතර පැවති මෙම තරගය අවසානයේ ජය ගත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමයි. ඒ කඩුලු 5කින් ප්‍රතිවාදී හැටන් නැෂනල් බැංකුව පරාජය කරමිනි.

image3කාසියේ වාසිය දිනූ HNB පිළ මුලින් පිතිකරණයේ යෙදීම තෝරාගත් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 205ක් පමණි. එහි දී ඊයේ දිනයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් තම කණ්ඩායමට ජය ලබා දුන් මාධව වර්ණපුර අදත් ලකුණු 71ක් රැස් කරමින් දක්ෂතා දැක්වීය. ඉමේශ් උදයංග සහ අසිත ප්‍රනාන්දු අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

මෙම අඩු ලකුණු සංඛ්‍යාව සාර්ථක ලෙස හඹාගිය කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයින් ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය තමන් සතු කර ගත්හ. ඒ පන්දුවාර 45යි පන්දු 3ක් තුල දී ලකුණු 203ක් ලබා ගනිමිනි. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඔවුන්ට පන්දුවාර 47කදී ලකුණු 201ක ඉලක්කයක් හිමිව තිබීම ඊට හේතුවයි. ඉතාමත් දැකුම්කළු ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග එහිදී ලකුණු 85ක් ලබා ගනිමින් කොමර්ෂල් පිළට ජය මාවත පෙන්වීය. දිල්හාන් කුරේ නොදැවී ලකුණු 44යි. තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

හැටන් නැෂනල් බැංකුව – කඩුලු 7ක් දැවී ලකුණු 205 (පන්දුවාර 50): මාධව වර්ණපුර 71, කෝසල කුලසේකර 45, ඉමේශ් උදයංග 2/14, අසිත ප්‍රනාන්දු 2/40.

කොමර්ෂල් ක්‍රෙඩිට් – කඩුලු 5ක් දැවී ලකුණු 203 (පන්දුවාර 45.3): වනිඳු හසරංග 85, දිල්හාන් කුරේ 44*, විමුක්ති පෙරේරා 2/22, සජීව වීරකෝන් 2/39.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට