Kohliට පිට පිට ම දඩ වැටෙයි!

IPL 2023

432
​Virat Kohli and his teammates fined

පසුගිය ඉරිදා (23) Rajasthan Royals සමඟ පැවැත්වුණු තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීමේ වරදට Royal Challengers Bangalore මෙහෙය වූ Virat Kohli හට ඉන්දියානු රුපියල් ලක්ෂ 24ක දඩයක් නියම වී තිබෙනවා.

මෙම තරගයේ දී නිත්‍ය නායක Faf Du Plessis වෙනුවට බැංගලෝරය මෙහෙය වූ Virat Kohli විසින් රාජස්තානයට එරෙහිව ලකුණු 7ක ජයග්‍රහණයක් වෙත සිය කණ්ඩායම රැගෙන යාමට සමත් වුනා.

නමුත්, එම තරගයේ දී බැංගලෝර් පන්දු යවන්නන් විසින් අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම නිසා නායක Kohliට සහ කණ්ඩායමේ සාමාජිකයින් හට දඩ නියම කර ඇති බවට තරගයෙන් අනතුරුව IPL සංවිධායකයින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

“අප්‍රේල් 23 වැනිදා බැංගලෝරයේ M.Chinnaswamy ක්‍රීඩාංගණයේ දී Rajasthan Royals කණ්ඩායම සමඟ තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා තබා ගැනීම නිසා Royal Challengers Bangalore කණ්ඩායමේ නායකයා ලෙස නම් කර සිටි Virat Kohli හට දඩ නියම කර තිබේ.

එමෙන් ම අඩු පන්දුවාර වේගය සම්බන්ධ IPL චර්යාධර්ම බිඳ දැමීමකට මෙම කණ්ඩායම සම්බන්ධ වූ දෙවeනs අවස්ථාව මෙය වන බැවින් Kohliට ලක්ෂ 24ක දඩයක් ද, තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් සහ ආදේශක ක්‍රීඩකයින් (Impact Player) ලෙස නම් කළ ක්‍රීඩකයින් ද ඇතුළුව සෑම සාමාජිකයකුට ම ලක්ෂ 6ක් හෝ තරග මුදලෙන් 25%ක දඩයක් නියම කර ඇත.”

ඒ අනුව Kohliට අමතරව තරගයට සම්බන්ධ අනෙක් සෑම ක්‍රීඩකයකුට ම Kohliගේ දඩ මුදලට වඩා අඩු දඩයක් නියම වී තිබෙනවා.

එමෙන් ම එදා තරගයේ දී මෙම වරද නිසා ම බැංගලෝරය විසින් රාජස්තානය වෙත යැවූ අවසන් පන්දු වාරයේ දී යාර 30 සීමාවෙන් එපිට රැඳවීමට ඉඩ ලබා දුන්නේ පන්දු රකින්නන් සිව් දෙනෙකු පමණයි.

නමුත් එසේ ලද වාසියෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට රාජස්තානයේ පිතිකරුවන් සමත් වුනේ නැහැ. Harshal Patel විසින් යැවූ අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් රාජස්තානය ලකුණු 20ක් ලබා ගත යුතු ව තිබුනත් ඔවුන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි.

මෙවර තරගාවලියේ දී Virat Kohli විසින් දඩ ගෙවීමකට හසු වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර Chennai Super Kings කණ්ඩායමට එරෙහිව (17) තරගයේ දී ද ඔහුට IPL ආචාරධර්ම කඩකිරීමක් නිසා දඩ නියම වුනා.

එමෙන්ම මෙවර තරගාවලියේ අඩු පන්දුවාර වේගය නිසා බැංගලෝරයට දඬුවම් හිමි වූ දෙවැනි අවස්ථාව ද මෙය වන අතර, අප්‍රේල් 10 වැනිදා Lucknow Super Giants කණ්ඩායමට එරෙහි තරගයේ දී ද බැංගලෝරය විසින් මෙම වරදට ම කොටු වුනා. නමුත් එවකට බැංගලෝරයට නායකත්වය ලබා දුන්නේ Faf du Plessis විසින් වන අතර, එහි දී Plessis හට ලක්ෂ 12ක දඩයක් හිමි වුනා.

බැංගලෝරය ක්‍රීඩා කළ අවසන් තරග දෙකේ දී ම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Virat Kohli වෙත පැවරුණු අතර, Plessis පිතිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන්නා.

Du Plessisට ඇති වී ඇති ආබාධ තත්වයක් නිසා ඔහු පන්දු රැකීමට සහභාගී නොවන බව සහ එම නිසා Kohli හට මෙසේ නායකත්වය හිමි වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා මඟින් දැන ගන්නට ලැබෙන්නේ.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. එමෙන්ම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ද ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<