පළමු යොවුන් ටෙස්ට් තරගයේ පාලනය එංගලන්තයට

330
Sri lanka U19 v England u19 day 1

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත 19න් පහල කණ්ඩායම අතර පළමු යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ආරම්භ විය. කේම්බ්‍රිජ්හී පැවැත්වෙන මේ තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව හිමි කර ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

පසුගිය ලිපි: පළමු වාසිය කැන්ගරුවන්ට

සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායක මැක්ස් හෝල්ඩන්ට හිමි විය. සිය පළමු යොවුන් ටෙස්ට් තරග අත්දැකීම ලබන නවක ක්‍රීඩකයන් 10 දෙනෙක් මෙහෙයවීමේ වගකීම දරන හෝල්ඩන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

කෙසේ වෙතත් ලකුණු 5ක් ලබා සිටි නායක හෝල්ඩන් ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ලහිරු කුමාර සමත් විය. දිවා ආහාරයට පෙර යැවූ අවසන් පන්දු වාරයේදී ජෝජ් හැන්කින්ස්, සම්මු අශාන්ට ගොදුරු වුයේ එංගලන්ත ලකුණු පුවරුව 85/2 ක් ලෙස සටහන් කරමිනුයි.

දිවා අහාරයෙන් පසු දිනයේ වැඩි කොටසක් වෙන් වුයේ ඔලී වෙස්ට්බරිගේ සහ ජෝජ් බාට්ලට්ගේ සුපිරි පිතිකරණය සඳහායි. ඔවුන් දෙදෙනා 3වන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 231ක්. වේගවත් ප්‍රහාරයක් දියත් කළ බාට්ලට් පන්දු 152කින් ලකුණු 131ක් ලබා ගන්නා ලදී. ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය. වඩාත් ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනැගූ වෙස්ට්බරි පන්දු 289කින් ලකුණු 154ක් ලබාගෙන දිනය අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නට සමත් විය.

83 වන පන්දු වාරයේ නැවත ක්‍රියාත්මක වූ ලහිරු කුමාර බාට්ලට්ගේ ඉනිම අවසන් කල අතර, ජෝෂුවා ඩෙල් එක් ලකුණකට දවාගත් ජෙහාන් ඩැනියල් ශ්‍රී ලංකා යෞවනයන්ට යම් සහනයක් ලබා දීමට සමත් විය. කෙසේ වෙතත් පළමු දිනය අවසන් වුයේ එංගලන්ත යෞවනයන්ට ඉතා වාසිදායක ලකුණු පුවරුවක් සටහන් කරමිනුයි.

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 352/4 (ඔලී වෙස්ට්බරි – 154*, ජෝජ් බාට්ලට් – 131, ජෝජ් හැන්කින්ස් – 26, ලහිරු කුමාර – 2/71, සම්මු අශාන් – 1/21, ජෙහාන් ඩැනියල් – 1/63)

අද (27) තරගයේ දෙවන දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට