දික්වැල්ලගෙන් Rishabh Pantට විශේෂ ඇගයීමක්!

Lanka Premier League 2023

2507

හදිසි අනතුරකට මුහුණ දීම නිසා කලක් තිස්සේ ම ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් ව සිටීමට සිදු ව ඇති Rishabh Pant පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල විසින් විශේෂ ඇගයීමක් සිදු කර තිබෙනවා. 

හදිසි අනතුරට මුහුණ දීමෙන් පසු කෙමෙන් සුවය ලබමින් සිටින Pant මේ වන විට ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී පිතිකරණ පුහුණුවීම් අරඹා ඇති බව දැන ගැනීමට ලැබෙන අතර, ඔහු දැන් පැයට කිලෝමීටර් 140ක වේගයක් ඇති දැල් තුළ පන්දු යවන්නන් සමඟ සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. 

Pantගේ අහිමි වීම ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට විශාල බලපෑමක් එල්ල කළ අතර, ඔහු වෙනුවට ඉන්දීය ටෙස්ට් කඩුලු රැකීමේ වගකීම බාර ගත් KS Bharat හෝ Ishan Kishanගෙන් Pantගේ හිස් තැන පුරවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. 

විශේෂයෙන්ම ඔහු විසින් ටෙස්ට් තරගවල දී දියත් කරන ආක්‍රමණශීලී පිතිකරණ රටාව පසුගිය කාලසමයේ ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ධනාත්මක ම සලකුණ බව පෙනෙන්නට තිබුණා. 

මේ අතර ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක සහ LPL තරගාවලියේ Colombo Strikers කණ්ඩායමට නායකත්වය ලබා දෙන නිරෝශන් දික්වැල්ල විසින් ද පවසන්නේ Rishabh Pant යනු වර්තමානයේ ලොව සිටින හොඳම ආක්‍රමණශීලී ටෙස්ට් කඩුලු රකින පිතිකරු බවයි. 

නමුත් කඩුලු රකින්නෙකු ලෙස පමණක් වඩාත් සාර්ථක ක්‍රීඩකයා Wriddhiman Saha බවත් දික්වැල්ල විසින් Times of India වෙබ් අඩවිය සමඟ සිදු කළ සාකච්ඡාවක දී සඳහන් කර තිබුණා. 

“මම Wriddhiman Sahaට ගොඩක් කැමතියි. ඔහුගේ Glovework (කඩුලු රැකීම) පුදුමාකාරයි. ඔහුට හොඳම අත් තියෙනවා. ඔහුට බොහෝ අත්දැකීම් තියෙනවා. ඔහු ටෙස්ට් තරගවල ක්‍රීඩා කරන ආකාරයට මම ගොඩක් කැමතියි. 

ආක්‍රමණශීලී පිතිකරුවෙකු ලෙස මම කැමතියි Rishabh Pantට. Rishabh තමයි මේ මොහොතේ සිටින හොඳම ආක්‍රමණශීලී කඩුලු රකින පිතිකරුවා. ඔහු ඉක්මනින් ම සුවය ලබලා නැවත කණ්ඩායම සමඟ එකතු වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.” 

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට මේ වන විට ක්‍රීඩක ආබාධ වලින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එම ක්‍රීඩකයින් අතරින් Jasprit Bumrah නුදුරේ දී ම නැවත කණ්ඩායම සමඟ එක් වීමට නියමිතව සිටින නමුත් Shreyas Iyer සහ KL Rahul යන දෙදෙනාට ම එළඹෙන ආසියානු කුසලානය මග හැරී යනු ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර දික්වැල්ල විසින් මෙම අදහස් පළ කිරීම අතරේ LPL තරගාවලියේ දී සිය කණ්ඩායම් සාමාජිකයකු බවට පත් වූ Babar Azam පිළිබඳ ව ද විශේෂ අගය කිරීමක් සිදු කර තිබෙනවා. 

“Babar ඔහුගේ පා ආවරණ ඉවත් කරන්නේ නැහැ. ඔබ ඔහුව දකින ඕනෑම වෙලාවක ඔහු පා ආවරණ පැලඳ හිඳී වී. ඔහු බොහෝ වෙලා පිතිකරණයේ යෙදෙනවා. ඔහු හොඳින් ඉතා දක්ෂතා දක්වා වී කියලා මට විශ්වාසයි.” 

මෙවර LPL තරගාවලියේ දී ශතකයක් ද සමඟින් තරගාවලියේ ඉහළ ම ලකුණු ලාභියා බවට ද පත් වී ඇති Babar එළඹෙන ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලිවල දී ඉහළ ම ලකුණු ලාභීන් අතරට පිවිසෙනු ඇති බවයි දික්වැල්ල විශ්වාස කරන්නේ. 

2023 LPL තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<