හිටපු දකුණු අප්‍රිකානු නායකයාගෙන් ගුජරාටයට අනතුරු ඇඟවීමක්!

IPL 2023

1684

හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වන Shaun Pollock විසින් මෙවර IPL තරගාවලියේ ඉදිරියෙන් ම සිටින කණ්ඩායම වන Gujarat Titans වෙත අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

පසුගිය වසරේ පළමු වරට IPL තරගාවලිය සමඟ එක් වෙමින් සියල්ලෝ ම පුදුමයට ද පත් කරමින් 2022 IPL ශූරයින් බවට පත් වීමට සමත් වූ ගුජරාටය මෙවර ද සිය ආධිපත්‍යය පෙර තරගාවලියේ මෙන් ම පැතිරීමට සමත් වී තිබෙනවා.

මෙවර තරගාවලියේ මූලික වටය අවසන් වන විට ක්‍රීඩා කළ තරග 14න් තරග 4ක් පමණක් පරාජය වෙමින් ලකුණු 20ක් ද සහිතව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත් වුනා.

එමෙන් ම අනෙක් සියලු කණ්ඩායම් සිය අවසන් තරගය වන තෙක් ම Play-Off වටයට පිවිසීමට හෝ සිය ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් සටන් කරද්දී, ගුජරාටය කිසිදු අභියෝගයකින් තොරව ම Play-Off වටයට ද සුදුසුකම් ලබා ගනිමින් සැහැල්ලු ක්‍රීඩා රටාවක් අනුගමනය කරනා බව ද පෙනී ගියා.

ගුජරාටය විසින් නොකඩවා පවත්වා ගෙන එන මේ ජයග්‍රහණ රැල්ල සමඟින් මෙවර IPL ශූරයින් ලෙස ද ඔවුන් කිරුළු දරනු ඇති බවට විශ්වාස කරන පිරිස මේ වන විට ක්‍රමයෙන් ඉහළ යනවා.

එමෙන්ම හිටපු දකුණු අප්‍රිකානු නායකයෙකු වන Shaun Pollock විසින් ගුජරාටය හඳුන්වා දෙන්නේ IPLහි Manchester City කණ්ඩායම ලෙසයි.

“මේ මොහොතේ ඔවුන් ව IPLහි Manchester City ලෙස හඳුන්වන්න පුළුවන්.”

English Premier League තරගාවලිය මේ වන විට නොකඩවා තුන් වතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටින Manchester City කණ්ඩායම, මෑත කාලයේ English Premier League තරගාවලියේ සාර්ථක ම කණ්ඩායමක් ලෙස අවිවාදයෙන් යුතු ව හඳුන්වා දිය හැකි.

නමුත් ඔහු ගුජරාටයට ලබා දෙන එම ගෞරවනීය තත්වය සමඟ ම තවත් අනතුරු ඇඟවීමක් ද සිදු කරමින් පවසන්නේ තරගාවලියේ අසීරු කොටස තවමත් ආරම්භ වී නොමැති බව අවධාරණය කරමිනුයි.

“බලන්න ඔවුන්ගේ ශුද්ධ දල ලකුණු වේගය 0.8ට වඩා වැඩියි. ඔවුන් දිනනවා විතරක් ම නෙවෙයි, ඒක යම් විලාසිතාවකටයි දිනන්නේ. ඔවුන් විශාල ආත්ම විශ්වාසයක් සමඟින් ඉදිරියට යා යුතුයි. මම කියන්නේ තරගාවලියේ අසීරු කොටස ආරම්භ වෙන්නෙ දැනුයි. ඔබ හිතන්න පසුගිය දවස් දහය ‍ගැන, ඒ වෙද්දීත් ඔවුන් Play-Off වෙත සුදුසුකම් ලබලා සිටියේ. ඒ නිසා ඔවුන්ට විශාල පීඩනයක් සමඟ ගනුදෙනු කරන්න සිදු වුනේ නැහැ. ඊට පස්සේ මෙන්න එක් වරම ඔබට සිදු වෙනවා “දිනන්න නැත්නම් මැරෙන්න” අන්දමේ තරග ක්‍රීඩා කරන්න.

පළමු තරගයේ නෙවෙයි, නමුත් අනිවාර්යයෙන් ම ඔවුන්ගේ දෙවැනි තරගයේ දී ඒක සිදු වෙනවා. ඒ නිසා යම් තැනක දී ඔවුන්ට සිදු වෙනවා යථාර්ථයට මුහුණ දෙන්න. ඒ වගේ ම ඔවුන් තරගාවලියෙන් එළියට විසි වෙන්නත් පුළුවන්.”

කිසිවෙකු හෝ විශාල අවධානයක් ලබා නොදෙන අවදානම් සහගත තත්වයක් පිළිබඳ Pollock විසින් ගුජරාටයට මතක් කර දුන්නේ ඒ අයුරිනුයි. නමුත් ඒ සමඟින් ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ තරගාවලිය පුරාවට ම ඔවුන් සන්සුන් ව සහ ඉතාම හොඳින් ක්‍රීඩා කළ බවයි.

මේ අතර Pollockගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට ලැබෙන පළමු අවස්ථාව ලෙස අද (23) Gujarat Titans සහ Chennai Super Kings කණ්ඩායම් ක්‍රීඩා කරන Qualifier 1 තරගය හඳුන්වා දිය හැකි.

චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ව ඇති මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට ලබන ඉරිදා (28) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වන අතර, තරගය පරාජය වන කණ්ඩායමට ලබන සිකුරාදා (26) පැවැත්වීමට නියමිත Qualifier 2 තරගයේ දී Mumbai Indians හෝ Lucknow Super Giants යන කණ්ඩායම් දෙකෙන් එකක් සමඟ තරග කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

2023 IPL තරගාවලියේ ඉතිරි ව ඇති මෙම තරග සියල්ල ම සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<