“අපි Play-Off යන්න සුදුසු කණ්ඩායමක් නෙවෙයි” – RCB නායකයා

IPL 2023

1258

තම කණ්ඩායම මෙවර IPL තරගාවලියේ  Play-Off වටයට යාමට තරම් සුදුසු නොවන බව Royal Challengers Bangalore නායක Faf Du Plessis විසින් සඳහන් කරනවා.

පසුගිය ඉරිදා (21) රාත්‍රියේ Gujarat Titans හමුවේ ලද පරාජයත් සමඟින් RCB කණ්ඩායමේ Play-Off වටයට පිවිසීමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. ඒ නිසා ආරම්භක IPL තරගාවලියේ පටන් වසර 16ක් ගෙවී යන අවස්ථාව වන තෙක් ම එකඳු IPL ශූරතාවක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ව සිටින බැංගලෝරයට මෙවරත් අවාසනාවන්ත ලෙස සිය බලාපොරොත්තු සුන් කර ගැනීමට සිදු වුනා.

නමුත් RCB නායක Faf du Plessis විසින් නම් සඳහන් කරන්නේ මෙවර තරගාවලියේ Play-Off වටයට පිවිසීමට තරම් තම කණ්ඩායම සුදුසුකම් පෙන්වා නොමැති බවයි.

“අපේ තරග වාරය මෙතැනින් අවසන් වීම ගැන මම කලකිරීමට පත් වෙනවා. අපි අපි ගැන ම බැලුවොත් අවංකව ම අපි මේ තරගාවලියේ හොඳම කණ්ඩායම් වලින් එකක් වුනේ නැහැ.

තරගාවලියේ තුළ හොඳ දක්ෂතා පෙන්වන්න අපි වාසනාවන්ත වුනා. නමුත් ඔබ පසුගිය තරග 14-15 දෙස බැලුවොත්, කණ්ඩායමක් විදිහට අපි අවසන් පූර්ව වටයට යන්න සුදුසු නැහැ.”

Faf විසින් ඊයේ RCB කණ්ඩායම විසින් නිකුත් කළ වීඩියෝ පටයකට මේ බව සඳහන් කර තිබුණා.

පසුගිය ඉරිදා පැවැත්වුණු තරගය ජයග්‍රහණය කිරීමට හැකි වුනා නම් Mumbai Indians අබිබවා යමින් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය තහවුරු කර ගැනීමට බැංගලෝරයට හැකියාව තිබූ අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ සුපිරි පිතිකරු Virat Kohli විසින් අගනා ශතකයකින් පවා සිය දායකත්වය ලබා දීමට සමත් වුනා. නමුත් බැංගලෝරයට තරගය ජයග්‍රහණය කිරීම සඳහා එම ශතකය පමණක් ප්‍රමාණවත් වුනේ නැහැ.

“ඒක (පරාජය) තවමත් රිදුම් දෙනවා. අපි අද (ඉරිදා) ගොඩක් මහන්සි වුනා, නමුත් අවාසනාවන්ත ලෙස අසාර්ථක වුනා.

මේ තරගාවලියේ ධනාත්මක දේවල් විදිහට Maxiගේ (Maxwell) සාර්ථකත්වය සහ මම සහ Virat අතර ඇති වුන ලකුණු සබඳතා සඳහන් කරන්න පුළුවන්. හැම තරගයක ම වගේ ලකුණු 50ක සබඳතාවක් පසු කර ගියා.

ඒ වගේ ම Siraj (Mohommed) හොඳ තරගාවලියක් ක්‍රීඩා කළා. ඒ නිසා ගොඩක් හොඳ ධනාත්මක දේවල් තිබුණා, ඒ වගේ ම සමහර පැති වලින් අපි ඒ තරම් ම හොඳ ස්ථාවර බවක් දිගටම පෙන්නුවේ නැහැ කියලයි මම හිතන්නේ.”

තම කණ්ඩායම Play-Off නොයා යුත්තේ ඇයි දැයි Faf විසින් ඒ අයුරින් පැහැදිලි කළා.

මෙවර IPL තරගාවලියේ Play-Off වටයේ තරග අද (23) පටන් ආරම්භ වීමට නියමිතයි. එම තරග සියල්ල ම සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට උදා වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<