2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි

IPL 2023

1431
2023 IPL play-Off shedule and match details

2023 IPL තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (21) දිනයෙන් අවසන් වූ අතර, Play-Off වටයේ තරග හෙටින් (23) ආරම්භ වීමට නියමිතයි.

පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරග 68ක් ක්‍රීඩා කර තිබූ 2023 IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ පැවැත්වුණු අතර එම තරග දෙකේ තීරණය අනුව Play-Off තරග වටයට පිවිසෙන අවසන් කණ්ඩායම කුමක් ද යන වග තීරණය කිරීමට ඉතිරි වී තිබුණා.

මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වුණු තරගාවලියක අවසන් තරගයේ අවසන් පන්දුවාරය තෙක් ම කණ්ඩායම් උරෙන් උර ගැටෙමින් එකිනෙකා හා උණුසුම් තරගයක නිරත වීම ම IPL තරගාවලියේ විශිෂ්ටත්වය මනාවට කියා පාන බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ.

ඊයේ දිනයේ තරග ආරම්භ වීමට ප්‍රථම Gujarat Titans, Chennai Super Kings සහ Lucknow Super Giants කණ්ඩායම් මෙවර තරගාවලියේ ලකුණු සටහනේ මුල් ස්ථාන තුන ස්ථිර කර ගැනීමට සමත් වෙමින් Play-Off වටය වෙත සුදුසුකම් ලබා තිබුණා. ඒ අනුව Play-Off වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට ඉතිරි ව තිබූ අවසන් ස්ථානය වෙනුවෙන් Mumbai Indians, Royal Challengers Bangalore සහ Rajasthan Royals කණ්ඩායම් විසින් බලාපොරොත්තු සහගත ව බලා සිටියා.

මෙවැනි වාතාවරණයක් අතරතුර ඊයේ සවස Sunrisers Hyderabad සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Mumbai Indians සමත් වුනේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය තමන් සතු කර ගනිමිනුයි.

මුම්බාය විසින් ලද මෙම ජයග්‍රහණයත් සමඟින් රාජස්තානයේ Play-Off බලාපොරොත්තු ද මුළුමනින් ම බිඳ වැටුණු නමුත් ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිත ව තිබූ Gujarat Titans සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර තරගය ජයග්‍රහණය කළ හැකි නම් මුම්බාය අබිබවමින් Play-Off වෙත පිවිසීමට බැංගලෝරයට ඉඩ අවකාශය ඉතිරි ව තිබුණා.

නමුත් බැංගලෝරයේ බලාපොරොත්තු සුනු විසුනු කර දමමින් මෙවර තරගාවලියේ සාර්ථක ම කණ්ඩායම තමන් වග නැවත වරක් සනාථ කළ ගුජරාටය විසින් බැංගලෝරයට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කළා.

ඒත් සමඟින් මෙවර IPL තරගාවලියේ ලකුණු සටහනේ මුල් ස්ථාන හතර කවරේ ද යන වග තහවුරු වුනා.

  1. Gujarat Titans (ලකුණු – 20)
  2. Chennai Super Kings (ලකුණු – 17)
  3. Lucknow Super Giants (ලකුණු – 17)
  4. Mumbai Indians (ලකුණු – 16)

එමෙන් ම ඊයේ පරාජයත් සමඟින් Royal Challengers Bangalore ලකුණු සටහනේ 6 වැනි ස්ථානයට ඇද වැටුණේ Rajasthan Royals කණ්ඩායමේ ස්ථානය අංක 5 බවට පත් කරවමිනුයි.

එමෙන් ම ලකුණු සටහනේ 7,8,9 සහ 10 යන ස්ථාන පිළිවෙළින් Kolkata Knight Riders, Punjab Kings, Delhi Capitals සහ Sunrisers Hyderabad කණ්ඩායම්වලට හිමි වුනා.

ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටයේ සියලු තරග මෙතෙකින් අවසාන වන අතර හෙට දිනයේ පටන් තරගාවලියේ Play-Off තරග ආරම්භ වීමට නියමිතයි.

2023 IPL තරගාවලියේ Play-Off කාලසටහන මෙසේයි;

  • Qualifier 1: Gujarat Titans සහ Chennai Super Kings – මැයි 23 අඟහරුවාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී.
  • Eliminator: Lucknow Super Giants සහ Mumbai Indians – මැයි 24 බදාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී.
  • Qualifier 2: Qualifier 1 තරගයේ පරාජිතයා සහ Eliminator තරගයේ ජයග්‍රාහකයා – මැයි 26 සිකුරාදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී.
  • අවසන් මහා තරගය : Qualifier 1 තරගයේ ජයග්‍රාහකයා සහ Qualifier 2 තරගයේ ජයග්‍රාහකයා – මැයි 28 ඉරිදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී.

ඒ අනුව 2023 IPL තරගාවලියේ තවත් ක්‍රීඩා කිරීමට ඉතිරි ව ඇත්තේ තරග 4ක් පමණයි. මෙතෙක් කල් තරගාවලියේ පැවැත්වුණු උණුසුම් තරග 70ක සජීවී අත්දැකීම ඔබට සමීප කළ ThePapare.com විසින් Play-Off තරග වටය සහ තරගාවලියේ අවසන් මහා තරගය ද සජීවී ව ඔබ වෙත සමීප කිරීමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<