මලල ක්‍රීඩා පිටියේ පුරාවෘත්තයක් දිවි ගමන අවසන් කරයි

9933

ඇමරිකාවේ සහ ලෝක මලල ක්‍රීඩා පිටියේ බිහි වූ විශිෂ්ට කෙටි දුර ධාවකයෙකු වන Jim Hines ජීවන ගමනින් සමුගත් බව ලෝක මලල ක්‍රීඩා සංගමය තහවුරු කර තිබෙනවා.

මීටර් 100 ඉසව්වෙ 1968 ඔලිම්පික් ශූරයා වන Jim Hines මීටර් 100 පිටියේ තත්පර 10 සීමාව නිල වශයෙන් බිඳ හෙළීමට සමත් වූ පළමු ක්‍රීඩකයා වෙනවා.

1946 වසරේ Arkansas හී උපත ලැබූ Jim Hines කුඩා කල බේස්බෝල් ක්‍රීඩාව සඳහා වැඩි අවධානයක් ලබා දුන්නත්, පාසලේ මලල ක්‍රීඩා පුහුණුකරුගේ මඟ පෙන්වීම නිසා ඔහු මීටර් 100 ඉසව්ව සඳහා යොමු වුනා.

එලෙස මලල ක්‍රීඩාව ආරම්භ කිරීමෙන් පසු ඉහළ දස්කම් දැක්වූ ඔහු වයස අවුරුදු 17ක් වන විටම 100m yards දිවීම ඉසව්වේ ලොව හොඳම ක්‍රීඩකයින් 20 අතරට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.

1956 වසරේ දී ඇමරිකානු ශූරයා බවට පත් වූ ඔහු 1967 වසරේ දී 100m yards ඉසව්ව තත්පර 9.1කින් සහ මීටර් 100 ඉසව්ව තත්පර 10.0ක කාලයකින් අවසන් කර ලෝක වාර්තා පිහිටුවනවා.

1968 වසරේ පැවති ඇමරිකානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.9ක කාලයකින් අවසන් කරමින් තත්පර 10 සීමාව බිඳ හෙළු පළමු ක්‍රීඩකයා වීමට සමත් වූවත්, වාර්තා සහතික කිරීමට විද්‍යුත් කාලය අවශ්‍ය වූ නිසා එය වාර්තාවක් වූයේ නැහැ.

නමුත් එම දස්කම් නිසා ඔලිම්පික් වරම් දිනූ ඔහු තත්පර 9.9ක කාලයකින් (විද්‍යුත් කාලය තත්පර 9.5) තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර විද්‍යුත් කාලයක් සහිතව මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ පළමු ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසයට එක් වුනා.

ඔහු තැබූ ලෝක වාර්තාව වසර 15ක් තිස්සේ බිඳ හෙළීමට කිසිවකුට නොහැකි වූ අතර සම්පූර්ණ විද්‍යුත් කාලසීමාව යටතේ වැඩිම කලක් පැවති මීටර් 100 ලෝක වාර්තාව වන්නේ ද එයයි.

එමෙන්ම ඇමරිකානු මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් ලෝක වාර්තාවක් සමඟ (තත්පර 38.24) තවත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට ද ඔහු 1968 වසරේ දී සමත් වුනා.

එම ජයග්‍රහණ වලින් පසු 1968 වසරේ මලල ක්‍රීඩාවට සමු දුන් ඔහු NFL කණ්ඩායම් කිහිපයක්ම නියෝජනය කළා.

කෙටි දුර ධාවනයේ සුවිශේෂී මතක සටහන් රැසක් ඉතිරි කරමින් සිය ජීවන ගමනට සමු දුන් Jim Hines මිය යන විට 76 වියෙහි පසු වුනා.

ලෝක මලල ක්‍රීඩා සංගමයේ නිවේදනයක් ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<