නිස්සංකගේ ආබාධය යහපත් අතට

1628
Pathum Nisanka's muscle stiffness disorder is getting better

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක පාදයක මස්පිඩු තදවීමක් නිසාවෙන් (Muscle stiffness) ආබාධයකට ලක්ව සිටි අතර මේ වන විට ඔහු ඉන් සුවය ලබා පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

ඒ අනුව ශාරීරික යෝග්‍යතාවය සහ ආබාධයේ තත්වය පිළිබඳව පරීක්ෂා කර බැලීම වෙනුවෙන් පරීක්ෂණ කිහිපයකට ද පසුගිය දින කිහිපය තුල ඔහු සහභාගී වී තිබෙන අතර එහි දී ඔහු ක්‍රීඩා කිරීමට උචිත මට්ටමේ යෝග්‍යතාවයක පසුවන බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව නිස්සංක මේ වන විටත් සිය පුද්ගලික පුහුණුවීම් ආරම්භ කර තිබෙන අතර ඔහු එළඹෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය සහ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා මූලික එක්දින සංචිතයට ද ඇතුලත්ව සිටිනවා.

මේ තරගාවලි දෙක වෙනුවෙන් සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මීට සති දෙකක පමණ කාලයක සිට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ SSC ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් කටයුතුවල නිරත වන අතර නිස්සංක හට පුහුණුවීම් අතරතුර ඇති වූ මේ ආබාධය නිසා දින කිහිපයක් පුහුණු සංචිතයෙන් ඉවත්ව සිටීමට සිදු වුනා.

මේ අතර ශ්‍රී ලංකා පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගේ ආබාධ තත්වය සැලකිල්ලට ගනිමින් 28 හැවිරිදි පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුශාන් හේමන්ත ද ශ්‍රී ලංකා මූලික එක්දින සංචිතය සමඟ එක්ව තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තොරතුරු ගැන දැන ගන්න, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<