වසීම් අක්‍රම් නොසතුටෙන්

279

පාකිස්තානයේ ප්‍රබලතම වේගපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන වසීම් අක්‍රම් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන පාකිස්තාන සංචිතයෙන් මොහොමඩ් අමීර් ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ලට පත්වී ඇතැයි පැවසෙනවා. එහි දී පාකිස්තාන වේගපන්දු බලඇණියට ශක්තියක් වීමට මොහොමඩ් අමීර්ට හැකි බව ඔහුගේ මතයයි.

බංග්ලාදේශයේ ලෝක කුසලාන ජර්සියට පිරිසක් උරන වෙයි

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන….

මේ වන විට 27 වන වියෙහි පසුවන මොහොමඩ් අමීර් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ඇතුළත් නොවීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. පාකිස්තානය මේ වන විට එංගලන්තය සමඟින් එක්දින තරග 5කින් යුත් සංචාරයකට එක්ව සිටින අතර එහි දී අමීර් තම සුපුරුදු රිද්මය ලබා ගතහොත් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිකරගත හැකි වනු ඇත. මෙම එක්දින තරගාවලිය මැයි මස 8 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ‍රෙගුලාසි වලට අනුව මැයි මස 23 වැනිදා දක්වා තම සංචිත වෙනස් කිරීමේ හැකියාව ලබා දී ඇත.

මොහොමඩ් අමීර් මුදලට තරග පාවා දීමේ චෝදනා මත ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වූ අතර එමනිසා ඔහුට 2011 හා 2015 ලෝක කුසලාන තරගාවලි දෙකම මගහැරී ගියේය. මෙවර ලෝක කුසලානය ද මගහැරී යාම අවාසනාවන්ත සිදුවීමකි.

පස් වසරක ජාත්‍යන්තර තරග තහනමකින් පසු තම ක්‍රිකට් ආගමනය ලොවට පෙන්වමින් මොහොමඩ් අමීර් 2017 Champions Trophy තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියානු කඩුලු 4ක් බිද හෙළන්නේ ලකුණු 14කටය. එම තරගය ජයග්‍රහණය කිරීම අමීර්ගේ ප්‍රබල ආගමනයේ සාක්ෂියක් බව ලොව පුරා ක්‍රීඩාලෝලීන් මත පල කළහ.

මොහොමඩ් අමීරට තවමත් කණ්ඩායමට එක්වීමට අවස්ථාව ඇති බව වසීම් අක්‍රම් විශ්වාසය පළකරයි.

AFP වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තානයට අමීර් අත්‍යවශ්‍ය බවයි.

“අමීර් මගේ පළමු තේරීම වෙනවා. මොකද එංගලන්තයේ සීත දේශගුණයට ගැළපෙනම පන්දු ‍යවන්නා ඔහුයි “

වසීම් අක්‍රම් පවසන ආකාරයට මොහොමඩ් අමීර්ට තවමත් තරුණ ජවය හා ජාත්‍යන්තර තරගවල අත්දැකීම් බහුල වීම නිසා ඔහුට කණ්ඩායමේ අනිවාර්ය තැනක් හිමි විය යුතුය. ජාත්‍යන්තර ‍ටෙස්ට් තරග හා අමීර් ක්‍රීඩා කරන එංගලන්තයේ ප්‍රාන්ත තරග දෙස බැලීමේ දී එය මනාව පෙන්වයි.

“මට ලොකු විශ්වාසයක් තියනවා ඔහු සුපුරුදු රිද්මයට ආවට පස්සේ ඔහු ඉතාම හොඳින් ක්‍රීඩා කරයි කියලා.” වසීම් තවදුරටත් කියා සිටියා.

කලක් පාකිස්තානයේ සුපිරිතම වේගපන්දු අවිය වූ වසීම් අක්‍රම් පාකිස්තානය වෙනුවෙන් 1987, 1992, 1996, 1999 හා 2003 යන ලෝක කුසලාන තරගාවලි නියෝජනය කල ක්‍රීඩකයෙකි.

පාකිස්තාන දැනට ප්‍රකාශයට පත්ළෙ 15 දෙනෙකුගෙන් යුත් ලෝක කුසලාන සංචිතය වැඩිපුර සමන්විත වන්නේ නවක ක්‍රීඩකයන්ගෙනි. සෆ්‍රාස් අහමඩ් හා හැරිස් සොහේල් 2015 ලෝක කුසලාන කණ්ඩායම් නියෝජනය කල අතර ශොහීබ් මලික් 2007 ලෝක කුසලාන සංචිතයේ සාමාජිකයෙකු විය. 2007 හා 2011 ලෝක කුසලාන සංචිත නියෝජනය කළ මොහොමඩ් හෆීස් ද කණ්ඩායමට ඇතුළත්ව සිටී.

වසීම් අක්‍රම් පවසන පරිදි තරග ජයග්‍රහණය සඳහා නවක මෙන්ම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම සමන්විත විය යුතුය.

“මම කැමති නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවට. ඒත් අත්දැකීම්වලට සමකළ හැකි දෙයක් නෑ. ඒ හින්දා අපි නවක හා අත්දැකීම් බහුල ක්‍රීඩකයන් දෙගොල්ලන්ම යොදාගත යුතුයි”

මෙම වසරේ මුල පැවති Pakistan Super League තරගාවලියේ දී මොහොමඩ් අමීර් මෙහෙයවීමේ වගකීම වසීම්ට පැවරී තිබුණි.

“ඔහු හොඳින් ඉගෙන ගන්නවා. මම හිතනවා ඔහුට ඉක්මන්ටම වාසනාව ලැබෙයි කියලා. මොකද පාකිස්තාන කණ්ඩායමට ඔහුව අවශ්‍යයි”

පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලානයට පෙර එංගලන්තය සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලියකට මැයි මස 5 වැනිදා එක්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියට පෙර ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය සමඟින් පුහුණු තරග දෙකකට ද පාකිස්තානය සහභාගි වනු ඇත. එම තරග මැයි මස 24 හා 26 පැවැත්වීමට නියමිතයි.

මැයි 31 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගයෙන් ඇරඹෙන පාකිස්තාන ලෝක කුසලාන දඩයම අනෙකුත් කණ්ඩායම්වලට පහසු එකක් නොවනු ඇත.

ලෝක කුසලානයට සහභාගි වන පාකිස්තාන සංචිතය

සෆ්‍රාස් අහමඩ්, ෆකාර් සමාන්, ඉනාම් උල් හක්, බාබර් අසාම්, ශාදාබ් ඛාන්, ශොහීබ් මලික්, ෆහීම් අශ්‍රෆ්, ශහීන් අෆ්‍රිඩි, හසන් අලී, අබීද් අලී, මොහොමඩ් හෆීස්, ඉමාඩ් වසීම්, ජුනයිඩ් ඛාන්, මොහොමඩ් හස්නයින්, හැරිස් සොහෙයිල්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<