වාර්තා ඉතිරි කර, මතකයන් පමණක් රැගෙන Marsh යන්න යයි!

14479

ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වමත් පිතිකරුවෙකු වන Shaun Marsh විසින් වසර 22කට අධික කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමෙන් පසු පළමු පෙළ ක්‍රිකට් තරගවලට සමුදීමට තීරණය කර තිබෙනවා.

හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන Geoff Marshගේ පුත්‍රයකු මෙන්ම, වත්මන් ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර තරග රටාවේ වටිනාම ක්‍රීඩකයකු ලෙස සැලකෙන Mitchell Marshගේ වැඩිමහල් සහෝදරයා ද වන Shaun Marsh විසින් සිය ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන්නේ 2001 වසරේ දී (වයස අවුරුදු 17 දී) වන අතර පසුව ඔහු 2008 වසරේ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම පළමු වරට නියෝජනය කිරීමට වරම් උදා කර ගත්තා.

සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගය සහ පළමු විස්සයි විස්ස තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ 2008 වසරේ දී ක්‍රීඩා කළ Marsh සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය 2011 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කළා.

එම තරගය සිය ක්‍රිකට් ජීවිතයේ නොමැකෙන මතක සටහනක් බවට පත් කර ගැනීමට Marsh විසින් සමත් වුනේ මංගල ටෙස්ට් ඉනිමේ දීම ලකුණු 141ක් ලබා ගැනීමට සමත් වෙමිනුයි.

නමුත් ඔහු ලබා ගත් සාර්ථක ආරම්භය නොකඩවා පවත්වා ගැනීමට Marsh අසමත් වූ අතර, ඔහු සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය 2019 දී ක්‍රීඩා කළ අතර ඒ වන විට ටෙස්ට් තරග 38ක් ක්‍රීඩා කර තිබූ Marsh ලබා ගෙන තිබුණේ ශතක හයක් පමණයි.

නමුත් එම කෙටි තරග සංඛ්‍යාව තුල දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරගයට පැවැත්වූ හොඳම සබඳතාව පැවැත්වීමට (2015 දී Adam Voges සමඟ ලකුණු 449ක සබඳතාවක්) Marsh සමත් වුනා.

ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවිය තරමක් සාර්ථක එකක් වූ අතර ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඔහුගේ එක්දින ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අගය 40.77ක් ලෙස සටහන් වී තිබුණා.

මේ වන විට 39 හැවිරිදි වියේ පසු වන Marsh විසින් 2022-23 තරග සමය ද ක්‍රීඩා කිරීමෙන් පසු සිය සමුගැනීම ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත්, හදිසියේම ඇති වූ ආබාධ තත්වයක් නිසා Marsh වහාම සිය සමු ගැනීම නිවේදනය කර ඇති බවයි වාර්තාවල සඳහන් වන්නේ.

“ඔබ ඔබේ රට නියෝජනය කරන සෑම අවස්ථාවක් ම සදාකාලිකව ඔබේ මතකයේ රැඳෙනු ඇත.”

සිය පියාගෙන් තම ක්‍රීඩා දිවියට ලද සහය පිළිබඳ මෙන්ම තමන්ගේ වසර 22ක ක්‍රීඩා ජීවිතය පිළිබඳව ද තෘප්තිමත් හැඟීමකින් යුතුව සිය සමුගැනීම නිවේදනය කළ Shaun Marsh එසේ පවසා තිබුණා.

කෙසේ වෙතත් පළමු පෙළ ක්‍රීඩාවට සමු දුන්නත් Melbourne Renegades සමඟ ඇති ගිවිසුම තවත් වසරකට වලංගු බැවින් Marsh ලබන වසරේ BBL තරගාවලියට ද ක්‍රීඩා කරනු ඇති බව ESPN cricinfo වෙබ් අඩවිය සඳහන් කරනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<