T20 ඉතිහාසයේ හොඳම හඹා යාමක්!

PSL 2023

419
Quetta Gladiators' Canadian Jason Roy (L) shakes hands with Peshawar Zalmi's Pakistani captain Babar Azam after winning the Pakistan Super League (PSL) T20 cricket match between Quetta Gladiators and Peshawar Zalmi at the Rawalpindi Cricket Stadium, in Rawalpindi on March 8, 2023. (Photo by Aamir QURESHI / AFP) (Photo by AAMIR QURESHI/AFP via Getty Images)

විස්සයි විස්ස තරග ඉතිහාසයේ පැවැත්වුණු තවත් විශිෂ්ට තරගයක නිමාව ඊයේ (08) PSL තරගාවලියේ දී සනිටුහන් වුනා.

PSL තරගාවලියේ 25 වැනි තරගය ලෙස Peshawar Zalmi සහ Quetta Gladiators කණ්ඩායම් අතර පැවැත්වුණු මෙම තරගය සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ගේ ග්‍රහණයට නතු වූ අතර, මෙය PSL තරග ඉතිහාසයේ මෙන්ම සමස්ත විසයි විස්ස තරග ඉතිහාසයේම පැවැත්වුණු වාර්තා ගත තරග වලින් එකක් ලෙස හඳුන්වා දිය හැකියි.

තරගයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් Zalmi ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 240ක් ලෙස නිමාව දුටු අතර, එහි දී Zalmi නායක Babar Azam විසින් පන්දු 65කින් ලකුණු 115ක් රැස් කර ගැනීමට සමත් වුනා. ඊට අමතරව Saim Ayub විසින් පන්දු 34කින් ලකුණු 74ක් සහ Rovman Powell විසින් පන්දු 18කින් ලකුණු 35ක් ලබා ගත්තා.

මෙවර PSL තරගාවලියේ ඉදිරි වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් තරගයේ ජයග්‍රහණය අත්‍යාවශ්‍ය ව තිබූ Quetta Gladiators කණ්ඩායම මින් පසුව පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසුණා.

ලකුණු 240 ඉක්මවා ලකුණු රැස් කළ යුතු තරගයකට ලැබිය යුතු වේගවත් ආරම්භය Gladiators ඉනිමට ලබා දුන් Martin Guptill විසින් පන්දු 8ක් පමණක් වැය කර ලකුණු 21ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔහුගේ සහය ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි Jason Roy මෙතෙක් PSL ඉතිහාසයේ ක්‍රීඩකයකු විසින් දියත් කළ විශිෂ්ටතම ඉනිම දියත් කිරීමට සමත් වුනේ Gladiators කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක් ද අත්කර දෙමිනුයි.

මෙහි දී Roy විසින් පන්දු 63ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 143ක් රැස් කිරීමට සමත් වූ අතර, එය PSL ඉතිහාසයේ පිතිකරුවෙකු විසින් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු ලෙස වාර්තා අතරට එකතු වුනා.

Gladiators ඉනිමේ අවසන් භාගයේ දී Royගේ සහයට එක් වූ Mohommad Hafeez පන්දු 18කින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව පන්දුවාර 18යි පන්දු දෙකක දී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් වූ Quetta Gladiators මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ PSL ඉතිහාසයේ කණ්ඩායමක් සාර්ථකව හඹා ගොස් ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා අතරට එක් වෙමිනුයි.

එමෙන්ම මෙය සමස්ත විස්සයි විස්ස ඉතිහාසයේම කණ්ඩායම විසින් සිව්වැනියට ඉහළම ලකුණු සංඛ්‍යාවක් සාර්ථකව හඹා ගිය අවස්ථාව ලෙස ද ඉතිහාසයට එකතු වුනා.

එමෙන්ම Quetta Gladiators විසින් ලබා ගත් ලකුණු 242 PSL තරග ඉතිහාසයේ ඉනිමක දී වාර්තා වූ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙද්දී, ඔවුන්ට පෙර ඉනිම දියත් කළ Peshawar Zalmi කණ්ඩායම ලබා ගත් ලකුණු 240 එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුනා.

මේ අතර මෙම කණ්ඩායම් ද්විත්වය විසින්ම ලබා ගත් සමස්ත ලකුණු ප්‍රමාණය (483) PSL ඉතිහාසයේ එක් තරගයක කණ්ඩායම් දෙකක් විසින් ලබා ගත් ඉහළම ලකුණු එකතුව බවට පත් වූ අතර, එය සමස්ත විස්සයි විස්ස ඉතිහාසයේ තරගයක දී කණ්ඩායම් දෙකක් විසින් ලබා ගත් හත් වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එකතු වුනා.

සමස්ත තරගයේ දී හතරේ පහර 54ක් සහ හයේ පහර 21ක් වාර්තා වී තිබූ අතර කණ්ඩායම දෙකම වාර්තා කළ ලකුණු වලින් සියයට හැත්තෑවක් පමණ හයේ සහ හතරේ පහර වලින් ලබා ගෙන තිබුණා.

සමස්ත තරගය පුරාවටම එකදු පන්දු යවන්නකු හෝ සාර්ථක නොවූ අතර කණ්ඩායම් දෙකෙන්ම අඩුම ලකුණු ලබා දීමේ සාමාන්‍යයක් වාර්තා කර තිබූ පන්දු යවන්නා වූයේ Peshawar Zalmi කණ්ඩායමේ Mujeenb Ur Rahman වන අතර ඔහුගේ සාමාන්‍ය අගය 9.50ක් වැනි ඉහළ අගයක රැඳී තිබීම ම මෙම තරගයේ ස්වභාවය කෙතරම් ප්‍රවේගකාරී ද යන්න මනාවට පිළිබිඹු කරනවා.

PSL තරගාවලියේ 26 වැනි තරගය අද Islamabad United සහ Lahore Qalandars කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

BBC Sport සහ ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<