චමරිගේ කණ්ඩායම පළමු පරාජය අත් විඳියි!

Women's League Exhibition 2023

533

PSL තරගාවලියට සමගාමීව පැවැත්වෙන Women’s League Exhibition විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය අද (10) පැවැත්වුණා.

මෙම තරගයේ දී ද Super Women කණ්ඩායම නියෝජනය කරමින් චමරි අතපත්තු තරගයට සහභාගී වූ නමුත් අද දිනයේ නම් එතරම් සාර්ථක වීමට ඇයට හැකියාවක් ලැබුණේ නැහැ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Amazon කණ්ඩායම පෙර තරගයේ දී ඔවුන් අතින් සිදු වූ වැරදි නිවැරදි කර ගැනීමට සමත් වෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 204ක් ලබා ගැනීමට සමත් වුනා.

එහි දී Amazon ආරම්භක පිතිකාරිණී Danni Wyatt විසින් ලකුණු 97ක් ලබා ගත් අතර, කණ්ඩායම් නායිකා Bismah Maroof විසින් ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුනා.

Super Women පන්දු යවන්නියන් අතරින් තරමක් හෝ සාර්ථක වීමට හැකි වුනේ Tuba Hassan පමණක් වන අතර ඇය විසින් Amazon ඉනිමේ කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කිරීමට Super Women නියෝජනය කරමින් සුපුරුදු පරිදි Muneeba Ali සහ චමරි අතපත්තු පිටියට පිවිසි නමුත් ඔවුන් දෙදෙනාටම පෙර තරගයේ මෙන් ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

Muneeba ලකුණු 11කට දැවී ගිය අතර, ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස චමරි විසින් පන්දු 17ක් තුල ලකුණු 17ක් ලබා සිටිය දී දැවී ගියා. නමුත් Lauren Winfield-Hill විසින් Super Women ඉනිමට ජීවයක් ලබා දෙමින් ලකුණු 80ක සාර්ථක ඉනිමක් ගොඩ නැංවූ අතර, අනෙක් අන්තයෙන් ඇයට සාර්ථක සබඳතාවක් පිහිටුවා ගැනීමට තරම් සහයක් නොලැබීම හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ Super Women ඉනිම කඩුලු 9කට ලකුණු 163ක් ලෙස අවසන් වුනා.

Amazon වෙනුවෙන් පන්දු යැවීමේ දී Anam Amin විසින් ලකුණු 17ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

තරගයේ වීරවරිය ලෙස Danni Wyatt සම්මාන දිනා ගත් අතර මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර තරගාවලිය සම මට්ටමේ පවතිනවා.

තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය හෙට ශ්‍රී ලංකා වෙලාවෙන් ප.ව. 2.30ට ආරම්භ වීමට නියමිතයි.

Women’s League Exhibition ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<