ලෝක ශූරයින් පැරදූ බංග්ලාදේශයට පෙරළිකාර ජයක්

එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2023

389

Najmul Hossain වාර්තා කළ අර්ධ ශතකය (51) සමඟ ලෝක ශූර එංගලන්තය පරදවා විස්සයි විස්ස ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය ඊයේ (09) සමත් වුනා.

තරගයේ සිව්වැනි පන්දුවාරයේ දී පිටියට පැමිණි Hossain 13 වැනි පන්දුවාරය තෙක් ක්‍රීඩා කරමින් තරගයේ වැඩි වාසිය බංග්ලාදේශ කණ්ඩායමට ගෙන ආ අතර නායක Shakib Al Hasan පන්දු 24ක් තුළ ලකුණු 34ක් ලබා ගෙන ජයග්‍රහණය තහවුරු කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 156කට සීමා කිරීමට බංග්ලාදේශයට හැකි වූ අතර ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

එංගලන්තය ලබා දුන් ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයින් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර වසර 8කට පසු ජාතික කණ්ඩායමට පැමිණි Ronny Talukdar පන්දු 14ක් තුළ ලකුණු 21ක් රැස් කළා.

ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට එක් වූ Hossain එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Mark woodට එරෙහිව පිට පිට හතරේ පහර හතරක් එල්ල කිරීම විශේෂත්වයක්.

Hossain දැවී යාමෙන් පසු පිතිකරණයට තරමක් අපහසු තණතීරුවේ සිය වගකීම ඉටු කළ Shakib සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

මෙය බංග්ලාදේශ කණ්ඩායමක් විස්සයි විස්ස තරගයක දී එංගලන්තයට එරෙහිව ලබා ගත් පළමු ජයග්‍රහණය වීම ද විශේෂත්වයක්.

“අපි තරගයට පිවිසි ආකාරය විශිෂ්ටයි. පළමු පන්දුවාර 10 තුළ අපිට තරමක ප්‍රහාරයක් එල්ල වුනත්, කවුරුත් කලබල වුනේ නැහැ,” යැයි Shakib  ප්‍රකාශ කළා.

බංග්ලාදේශ ආරාධනාවෙන් පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 80ක සම්බන්ධතාවක් ගොඩනැගුවා.

පසුව බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ අසරණ වූ ඔවුන්ගේ කඩුලු 4ක් ලකුණු 12ක් තුළ දැවී ගිය අතර අවසන් පන්දුවාර කිහිපයේ දී බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

“අපි තරගයට හොඳ ආරම්භයක් ලබා ගත්තත් ලකුණු 20ක් පමණ මදි වුනා. ඉතා මන්දගාමී සහ ඉපිලීම අඩු තණතීරුවක් තමයි තරගය පුරාවටම තිබ්බේ. ඒත් බංග්ලාදේශය අපිට පීඩනයක් එල්ල කරමින් තරගය ඔවුන්ගේ දෙසට ගත්තා,” යැයි Jos Buttler ප්‍රකාශ කළා.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගය ඉරිදා (12) ඩකා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<