හතුරුසිංහ බංගලියන් සමඟ ලෝක ශූරයින් දමනය කිරීමට සැරසෙයි!

England Tour of Bangladesh

536
​Hathurusingha will start bangladesh t20 world cup

චන්දික හතුරුසිංහ මහතා විසින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරය බාර ගැනීමෙන් පසුව පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වීමට නියමිතයි.

එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ආරම්භ වීමට නියමිත මෙම විස්සයි විස්ස තරගාවලිය බංග්ලාදේශ කණ්ඩායමේ දියුණු විය යුතු අංශ හඳුනා ගැනීම වෙනුවෙන් අවස්ථාවක් කර ගන්නා බව හතුරුසිංහ විසින් ඊයේ (08) සඳහන් කර තිබුණා.

“මෙතැනින් තමයි 2024 ලෝක කුසලානයට ආරම්භය ලබා ගන්නේ. මෙතනින් අපි සතුව තියෙන්නේ මොනවද කියලා ගවේෂණය කරනවා. ඊට පස්සේ අපි බලන්න අවශ්‍යයි අපිට දියුණු කර ගන්න පුළුවන් අංශ මොනවද, අපේ ශක්තීන් මොනවද කියලා.

මම හිතන්නේ නැහැ ඒක අමාරු වෙයි කියලා (විස්සයි විස්ස ලෝක ශූරයින් හා තරග වැදීම). මේක අපිට ලෝක කුසලානයට සූදානම් වෙන්න හොඳ අවස්ථාවක්. ඊළඟ ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයන් වල. අපි අනිත් කණ්ඩායම් වලට වඩා බටහිර ඉන්දීය කොදෙව් වල සංචාරය කරලා තියෙනවා. ඒක මතකයේ තියා ගෙන නිවැරදි සංයෝජන තෝරා ගත යුතුයි. මෙතන ගොඩක් ක්‍රීඩකයින්ට අවස්ථා තියෙනවා.”

මීට පෙර එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය හතුරුසිංහගේ නැවත පැමිණීමෙන් පසු බංග්ලාදේශය ක්‍රීඩා කළ ප්‍රථම ක්‍රිකට් තරගාවලිය වන අතර, එහි දී බංග්ලාදේශයට 2-1ක පරාජයක් විඳීමට සිදු වුනා. නමුත් තමන් කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් වෙන බවත්, විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබඳ හොඳ පැහැදීමක් ඇති වූ බවත් හතුරුසිංහ අවධාරණය කළා.

“ඒක හොඳ ආරම්භයක්. ගොඩක් අංශ ගැන මම පැහැදීමකට පත් වුනා. උචිත තත්වය යටතේ නොවුනත් වේග පන්දු යවන්නන් හොඳින් දක්ෂතා දැක්වුවා. පන්දු රැකීමේ දක්ෂතා පිළිබඳත් මම සතුටු වෙනවා. ඒ වගේම පිතිකරණය පැත්තෙන් තවත් දියුණු විය යුතු දේවල් කිහිපයකුත් මම හඳුනා ගත්තා.

මට ගොඩක් ලොකු බලාපොරොත්තු තියෙනවා. අපි ආසියාවේ හොඳම පන්දු රැකීමේ අංශය හදා ගන්න ඕන.”

එංගලන්තය සමඟ විස්සයි විස්ස තරගාවලියට විස්සයි විස්ස වරම් නොලද ක්‍රීඩකයින් තිදෙනෙක් සහ වසර අටකට පසුව නැවත කණ්ඩායම සමඟ එක්වන ක්‍රීඩකයකු ද (Rony Talukdar) බංග්ලාදේශ සංචිතයට එක් කර ඇති අතර, බංගලාදේශ ප්‍රිමියර් ලීගයේ දී දස්කම් පෙන්වුවා සේම ඔවුන් ඉදිරියටත් දක්ෂතා පෙන්වනු ඇති බවට හතුරුසිංහ බලාපොරොත්තු වනවා.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද දහවල් 2.30ට ආරම්භ වීමට නියමිතයි.

එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<