ශ්‍රී ලාංකික රග්බි පුරාවෘත්තය ‘බණ්ඩේ’

426

පසුගිය දා ThePapare.com විසින් තම ප්‍රියතම ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරන ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබූ අතර වත්මන් මෙන්ම හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන් ද එයට ප්‍රතිචාර දක්වා තිබුණි. එම ප්‍රතිචාරවල එක් ක්‍රීඩකයෙකුට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබුණි. ඒ අන් කවරෙකුත් නොව ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක ය. 

ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක හෙවත් බණ්ඩේ නොසිටි තෝරාගැනීම් තිබුණේ ස්වල්ප ගණනකි. 1990 වසරේ සිට 2005 වසර දක්වා ශ්‍රී ලාංකික රග්බි නාමය තුල ඔහු හිමිකරගත් ස්ථානය පැහැදිලි කිරීමට තවත් උදාහරණ අවශ්‍ය නොවේ. මෙරට රග්බි ක්‍රීඩාලෝලීන් තුල කිසිදා නොමැකෙන සටහනක් තැබීමට ඔහු සමත්ව ඇත. 

ThePapare එදාමෙදා තුර හොඳම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

ශ්‍රී ලංකා හිටපු රග්බි ක්‍රීඩකයින්, වත්මන් රග්බි ක්‍රීඩකයින්, රග්බි විශේෂඥයින්, ශ්‍රී ලංකා …………

ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ක්‍රීඩකයෙකි. බණ්ඩේගේ රග්බි ක්‍රීඩාවේ තිඹිරිගෙය වූයේ ද ධර්මරාජයයි. එවකට ධර්මරාජ විද්‍යාලයේ රග්බි පුහුණුකරු වූ නිහාල් වයිපර් ගුණරත්න හා මොහොමඩ් සාරුක්ගේ පුහුණුවීම් යටතේ තම රග්බි ක්‍රීඩාව හැඩකරගත් ඉන්ද්‍රජිත් එය ඔහුටම ආවේණික නව මානයක් කරා ගෙන යාමට සමත් විය. 

පාසල් අවධිය තුල ඉන්ද්‍රජිත් දස්කම් දැක්වූයේ රග්බි ක්‍රීඩාවෙන් පමණක් නොවේ. ඔහුගේ පියා වූ ලකී බණ්ඩාරනායකගේ අඩිපාරේ යමින් ක්‍රිකට් ක්‍රීඩාවට, මලල ක්‍රීඩාවට හා පාපන්දු ක්‍රීඩාවට ද ප්‍රබල ලෙස දස්කම් දැක්වීමට ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක සමත් විය. ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ ඔහු ප්‍රබල වේගපන්දු ‍යවන්නෙකු ද විය. 

ධර්මරාජයේ සියලු වයස් කාණ්ඩ තුල එක ලෙස දස්කම් දැක්වූ ඔහු එම වයස් කාණ්ඩ සියල්ලේම කණ්ඩායම් නායකත්වය දැරීමට තරම් දක්ෂයෙකු විය. 

පාසල් රග්බි පිටියට 1990 වසරේ දී සමුදීමෙන් පසු බණ්ඩේගේ ප්‍රථම රාජකාරිය වූයේ මහනුවර ක්‍රීඩා සමාජයට එක්වීමයි. ඒ අනුව 1990 වසරේ දී මහනුවර ක්‍රීඩා සමාජයට එක්වීමට ඔහු සමත් විය. 

අන්තර් සමාජ රග්බි ‍ක්‍රීඩාවේ වත්මන් ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය 1990 වන විට කිසිදු ලීග් ශූරතාවයක් ජයග්‍රහණය කර තිබුණේ නැත. වසර ගණනක් ලීග් ශූරතාවයට මාන බලමින් සිටි මහනුවර ක්‍රීඩා සමාජය ඒ වන විට දැඩි ගැටලුවක් වී තිබූ පහසුකම් නොමැතිකම සහ එක් පැත්තකින් මඳක් අඩු වී ඇති භූමිය නිසා පීඩා විදිමින් සිටියේය. 

ඒ වන විට රග්බි ක්‍රීඩාව තුල ප්‍රබල නාමයක් දිනා සිටි කොළඹ ක්‍රීඩා සමාජ වෙළඳ සමාගම්වල රැකියා අවස්ථා ලබා දෙමින් මහනුවර දක්ෂතාවයේ සාරය කොළඹට ගෙන්වා ගනිමින් සිටියේය. 

එහෙත් ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක ගත්තේ ඊට වෙනස් තීරණයකි. සියලු සැප සම්පත් හා ඉල්ලීම් පසෙක දමමින් ඔහු මහනුවර ක්‍රීඩා සමාජය තෝරාගත්තේය. සියල්ලටත් වඩා ඔහුට අවශ්‍ය වූයේ තම උපන් නගරයේ ක්‍රීඩා සමාජය වන මහනුවර ක්‍රීඩා සමාජයට පක්ෂපාතී වීමටයි.

1992 දී මහනුවර ක්‍රීඩා සමාජයේ රග්බි ගමන වෙනස් වන්නේ මලික් සමරවික්‍රම මහතාගේ ආගමනයත් සමඟිනි. ඒ කොළඹ ක්‍රීඩා සමාජය නියෝජනය කළ මහනුවරින් බිහි වූ ක්‍රීඩකයන් රැසක් නැවත මහනුවර ක්‍රීඩා සමාජයට ගෙන්වා ගැනීමත් සමඟිනි. 

ඒ අනුව ප්‍රියන්ත ඒකනායක, ලක්ෂ්මන් ඒකනායක, ඉම්තිසන් මරික්කාර්, ලසන්ත විජේසූරිය වැනි මහනුවර පාසල්වල නිෂ්පාදන නැවත මහනුවරට පැමිණියේය. ඔවුන් සමඟින් එක්වූ ශ්‍යාම් සිද්ධීක්, රිස්වි සුහායිබ් මහනුවර රග්බි ගමන කණපිට පෙරලීමට සමත් විය. 

දකුණු අප්‍රිකාවට අභියෝග කළ අපේ රග්බි වීරයෝ

මීට වසර 27කට පෙර එනම් 1993 වසරේ සිංගප්පූරු ක්‍රිකට් සමාජය මෙහෙයවූ සත් ……………….

එතෙක් පසුබැස තිබූ මහනුවර රග්බි ආක්‍රමණය ශ්‍රී ලාංකීය රග්බි වංශ කතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කළේය. මහනුවර ක්‍රීඩා සමාජය ඔවුන්ගේ පළමු රග්බි ශූරතාව දිනා ගැනීමට 1992 වසරේ දී සමත් විය. 1992 දී Dimula Athletic and Cricket Club විසින් සංවිධානය කළ Dimbula Celtel Sevens ශූරතාවය ඔවුන් මහනුවරට ගෙන ආවේය. 

මහනුවර ක්‍රීඩා සමාජයට ඒ වන විට වසර 119ක් සපුරා තිබුණි. මුල් කාලයේ එම සමාජය හැඳින්වූයේ ABC ක්‍රීඩා සමාජය ලෙසිනි. ඒ මලල ක්‍රීඩා, බෝට්ටු හා ක්‍රිකට් යන අරුත් සහිතවය. 

බොහෝ කලකට පසු මහනුවර ක්‍රීඩා සමාජයට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් අතර ඔවුන් ක්‍රීඩා කළේ විදේශීය වැවිලි කරුවන්ගෙන් සැදුම්ලත් මහනුවර රෝවර්ස් යන නමිනි. පසුව මෙම සමාජය මහනුවර ක්‍රීඩා සමාජය ලෙසින් නම් කළේය. නම් වෙනස් කළ ද සමාජ ශාලාවට එහි ඉතිහාසය අහිමි වූයේ නැත. 

1992 දී ආනන්ද කස්තුරිආරච්චි යටතේ මහනුවර ක්‍රීඩා සමාජය තම ප්‍රථම ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගත්හ. 1994 දී මහනුවර ක්‍රීඩා සමාජය තම පළමු ලීග් ශූරතාවය ජයග්‍රහණය කළ අතර එම කණ්ඩායමට නායකත්වය සැපයූයේ ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 24ක් විය. 

වසර මහනුවර ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරූ ළාබාලම ක්‍රීඩකයා බවට පත්වීමට තරම් ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක ප්‍රබල විය. 1990 දී මහනුවර ක්‍රීඩා සමාජයට එක්වූ ඔහු ඒ වන විට කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකුව සිටියේය. 

1990 සිට 2005 දක්වා බණ්ඩේ මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය. ඔහු ජාතික කණ්ඩායමට ද නායකත්වය දුන්නේය. ඔහු පවුලේ අය සමඟ ඕස්ට්‍රේලියාවට ගොස් තිබූ නිසා 1996 සිට වසර දෙකක් ඔහු මහනුවර වෙනුවෙන් ක්‍රීඩා කළේ නැත. නමුත් ඔහු 1998 දී නැවත මහනුවර ක්‍රීඩා සමාජයට පැමිණි අතර මහනුවර කණ්ඩායමට මෙරට රග්බි ඉතිහාසය අලුතින් ලිවීමට උදව් කළේය.

1994 දී ගොල්ඩ් ලීෆ් ශූරතාවයේ ශූරතාව මහනුවර හිමිකර දුන් කණ්ඩායමට නායකත්වය සැපයූවේ ඔහුය. එය ඔහුගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය සංධිස්ථානයක් සනිටුහන් කළේය. 

ඩුබායි සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියේ හි දී බණ්ඩේ හා සංජීව ජයසිංහ එක්ව නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා කළ උත්සාහක දිනුම මෙරට ක්‍රීඩාලෝලීන්ගේ මතකයෙන් කිසිදා ඈත් නොවනු ඇත. 

එම තරගයේ දී centre ස්ථානයේ ක්‍රීඩා කළ ඉන්ද්‍රජිත් නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වළක්වමින් හා ක්‍රීඩකයන් දෙදෙනෙකු මඟ හරිමින් සංජීව හට පන්දුව බාර කළේය. wing ක්‍රීඩකයා නවසීලන්ත කණ්ඩායමට විරුද්ධව උත්සාහක දිනුමක් වාර්තා කළේ ශ්‍රී ලාංකේය රග්බි ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් සටහන් කරමිනි. 

පවුම් පනහක් නිසා ඇරඹුණු සිලෝන් රග්බි

ආසියානු උප මහද්වීපයේ විශිෂ්ටතම රග්බි කණ්ඩායම වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ……….

වසර 15කට අධික කාලයක් තුල මහනුවර ක්‍රීඩා සමාජයටත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක කළ මෙහෙවර අතිමහත්ය. මීට වසර කීපයකට පෙර මහනුවර ක්‍රීඩා සමාජය තම ක්‍රීඩා සමාජයේ නිශ්පාදනයක් වන ඔහුට උපහාර ලෙස නිත්තවෙල ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ඔහුගේ නමින් නම් කළේය. එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් එය විවෘත කළේය. 

2006 වසරේ දී ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ අසමසම නිපැයුමක් වූ ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක නම් වූ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට තීරණය කළේය. 

ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක හෙවත් ‘බණ්ඩේ’ මෙරට ක්‍රීඩාලෝලීන්ගේ පුරාවෘත්තයක් වී අවසානය.

DailyNews හා තවත් මූලාශ්‍ර කීපයක් ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<