Akramගෙන් බේරලා දෙන්න කියලා මම Sachinට ඇවිටිලි කළා; Sehwag

3854

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය පුරාවටම ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල අතර ඉතා හොඳ සබඳතා ගොඩ නැගී ඇති බව ඉතිහාසය පිරික්සමින් යද්දී වැටහෙන කාරණයක්.

ඒ අතරින් සංඛ්‍යාත්මකව ඉහළ අගයන් පෙන්වූ ආරම්භක පිතිකරණ යුගලය ලෙස Sachin Tendulkar සහ Sourav Ganguly යුගලය හඳුන්වා දෙන්න පුළුවන්. ඔවුන් දෙදෙනා විසින් ඉනිම් 136ක දී ලකුණු 6609ක් රැස් කර ගෙන ඇති අතර, මෑතක දී අපට ඉන්දියාවෙන් මුණ ගැසුණු Rohit Sharma සහ Shikar Dhawan යුගලය ලකුණු 5148ක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

ඉන්පසුව ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ වඩාත් සිත් ඇද ගන්නා සුළු ආරම්භක පිතිකරු යුගලය ලෙස හඳුන්වා දිය හැකි Sachin Tendulkar සහ Virender Sehwag දෙදෙනා සිටින අතර ඔවුන් ඉනිම් 93ක් පමණක් එකට ක්‍රීඩා කරමින් ලකුණු 3919ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

බොහෝ ඉන්දියානුවන් Sehwag, Sachin සුසංයෝගයට අදටත් ආදරය කරන බව නොරහසක්.

Sehwagගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භයත් සමඟින් ම ඔහුගේ අනෙක් ආරම්භ පිතිකරු ලෙස Sachin සහ Ganguly වරින් වර මාරුවෙන් මාරුවට ක්‍රීඩා කළ අතර, 2003 ලෝක කුසලානයේ පටන් Sachin සහ Shewag ආරම්භක පිතිකරණ යුගලයක් ලෙස ස්ථාවර වීමට පටන් ගත්තා.

එම තරගාවලියෙ දී මෙම ආරම්භ පිතිකරු යුගලය ලද මුල්ම අසීරු අභියෝගය වුනේ ඉන්දියාවේ උග්‍ර ප්‍රතිවාදියා වන පාකිස්තාන වේගපන්දුවට මුහුණ දීමයි. ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉනිමේ ආරම්භක පන්දුවට මුහුණ දීම Sachin විසින් ඉතාම අඩුවෙන් කරන දෙයක් වුනත්, එදා තරගයේ දී Sachin විසින් Wasim Akramගේ ආරම්භක පන්දුවට මුහුණ දෙනවා ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබුණා.

ඒ විතරකුත් නෙවෙයි එදා ඔහු මුහුණ දුන් තෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ඉන්දියානු ලකුණු පුවරුව විවෘත කළා. මෙය Sachinගේ ක්‍රීඩා දිවියේ ක්‍රීඩා කළ අතිවිශිෂ්ටතම ඉනිමක ආරම්භය ද වූ අතර, එදා ඔහු ඉන්දීය ඉනිම ආරම්භ කිරීමට හේතුව වසර ගණනාවක් යන තෙක් ම බොහෝ ක්‍රීඩාලෝලීන්ට මාතෘකාවක් බවට ද පත් වුනා.

ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ හේතු ද ක්‍රීඩාලෝලීන් විසින් ඉදිරිපත් කළ නමුත්, එදා තරගයේ Sachinගේ ඉනිමේ ආරම්භක සගයා වූ Sehwag එම සිදුවීමේ සත්‍ය කතාව පසුගිය දිනයක දී හෙළිදරව් කළා.

“මම වමත් වේගපන්දු යවන්නන් ඉදිරියේ හොඳින් ක්‍රීඩා කරන්නේ නැහැ, චමින්ද වාස් යවන පළමු පන්දුවට ම නිතරම මම දැවී ගිහින් තියෙනවා. ඒ වගේම Nathan Bracken ඉදිරියේත් එහෙමයි. අපි Wasimට එරෙහිව ක්‍රීඩා කරපු 2003 ලෝක කුසලානයේ දී පාකිස්තාන ඉනිමේ අවසන් පන්දු වාරයේ දී මම Sachinගෙන් ඇහුවා මුල්ම පන්දුවට ක්‍රීඩා කරන්න පුළුවන් ද කියලා. මම ඔහුට කිවුවා බලන්න Wasim පළමු පන්දුව යැවුවොත් මම දැවී යාවීකියලා.

ඔහු (Sachin) කිව්වා නෑ, නෑ මගේ පන්ඩිත් ජී මට කිව්වේ අංක 2ට පිතිකරණයේ යෙදෙන්න කියලා. මම ඒවා. විශ්වාස කරනවා.

එතකොට මම කිව්වා ඔයා තමයි ලෝකේ අංක එකේ පිතිකරුවා, දැන් ඔයා මෙතන පන්ඩිත් ජී කෙනෙක් ගැන කතා කරනවාකියලා.

නමුත් ඔහු ආයෙත් කිවුවා නැහැ, මම බැට් කරන්නේ අංක දෙකේ, ඔබ මුල්ම පන්දුව බාර ගන්නකියලා.”

ILT20 තරගාවලියට සමගාමීව පැවැත්වුණු රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් Sehwag විසින් මේ අපූරු කතාවට මුල පිරුවේ ඒ විදිහට.

“ඉතින්, සෙන්චූරියන් වල අපිට ගොඩක් උඩට පඩි පෙළ නැගලා යන්න තිබුණා, අපි දිවා ආහාරයට (පාකිස්තාන ඉනිමෙන් පසු විවේකයේ) ගිහින් ආයෙත් එද්දී මම නැවතත් Tendulkarගෙන් ඉල්ලීම් කරන්න ගත්තා. ඔහු ලොකු ඉයර්ෆෝන් එකක් පැලඳ ගෙනයි හිටියේ, ඔහු ඒකත් ගලවන ගමන් මගේ පිටි පැත්තට එකක් ගහලා කිව්වා යන්න ගිහින් පා ආවරණ දා ගන්න, මම මුලින් ම පිතිකරණයේ යෙදෙන්නේ නැහැ කියලා.

මම උත්සාහ කළේ කොහොම හරි Tendulkarට ආයාචනය කරලා Wasim Akramගෙන් මාවම බේරගන්නයි.”

එදා තරගයේ දී පාකිස්තානය විසින් එතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු විදිහට කඩුලු 7ක් දැවී ලකුණු 273ක් ලබා ගන්න සමත් වෙලා තිබුණා.

ඉන්දීය ඉනිම ආරම්භයේ දී පෙර කිව්වා වගේම Sachin විසින් පළමුවෙන්ම Wasim Akramගේ පන්දුවලට මුහුණ දෙමින් හතරේ පහරකින් ම ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. Sachinගේ එක්දින ක්‍රිකට් පරිච්ඡේදය තුල ශතක 49ක් අඩංගු වෙලා තියෙනවා. නමුත් සමහරු විශ්වාස කරන විදිහට Sachinගේ හොඳම එක්දින ඉනිම තමයි එදා තරගයේ දී ඔහු පාකිස්තානයට එරෙහිව වාර්තා කරපු වේගවත් ලකුණු 98.

ඒ ඉනිම නිසාම ඉන්දියාවට පුළුවන් වෙනවා එදා පාකිස්තාන කණ්ඩායම පහසුවෙන් පරාජය කරන්න. සමහර විට එදා ඉනිම ආරම්භ වෙන්න පෙර Shewagගේ ඇවිටිලි අතරේ ම Sachinටත් හිතෙන්න ඇති මේ තීරණාත්මක තරගයේ වගකීම සහමුලින්ම තමන්ගේ උර මතින් තබා ගත යුතුයි කියලා.

Sachinගේ තීරණය එක පාරම වෙනස් වුනේ කොහොම ද කියලත් Sehwag හරි ලස්සනට විස්තර කරනවා.

“අපි පන්දුවට පහර දෙන්න පඩි පෙළ බැහැලා යද්දී මම නැවතත් ඔහුට කිව්වා මුලින් ම පිතිකරණයේ යෙදෙන්න කියලා, නමුත් ඔහු ආයෙත් බැහැ කිව්වා. යාර තිහේ සීමාව වෙනකම් ම මම ඔහුගෙන් ඒ ඉල්ලීම කළා, ඔහු දිගටම බැහැ කියමින් සිටියා. ඒත් එක පාරටම මම දැක්කා Sachin කඩුලු රකින්නාගේ අන්තය වෙත යනවා.

ඒ එක්කම මම කිව්වා වාවු, අද මගේ වාසනාවන්ත දවස කියලා.

ඔහු මුලින්ම පන්දුවට පහර දුන්නා, පස්සේ ඔහු ලකුණක් ලබා ගෙන මට පිතිකරණයේ යෙදෙන්න සැලැස්වුවා. මට Wasim Akramට මුහුණ දෙන්න සිද්ධ වුනා. ඉතින් මම වාසනාවන්ත වුනා එතන දී දැවී නොයා ඉන්න, ඒ වගේම මට පුළුවන් වුනා Wasimගේ මුල්ම පන්දුවට (ඉනිමේ) මුහුණ නොදී ඉන්නත්.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<